ගුරුගොඩ ඔයේ නෑමට ගිය උසස් පෙළ සිසුවා අතුරුදන්

  👤  2414 readers have read this article !
By mawbima 2018-11-08

දමුණුපොළ - චමින්ද ජයලත්


වරකාපොළ, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් පෙරේදා (06දා) බුලත්කොහුපිටිය පොලිස් වසමේ මොරොන්තොට, ගල්ගෙඩියාන, ගුරුගොඩ ඔයේ දිය නෑමට පැමිණ සිටියදී එක් ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය කියයි.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ වරකාපොළ, ඇත්නාවල ග්‍රාමයේ පදිංචිව සිටින එම විද්‍යාලයේ 12 ශේ‍ර්ණිය ගණිතය අංශයේ ඉගෙනුම ලබමින් සිටි කරුණාමුනිගේ අනුජ දෙව්රංග ප්‍රභාෂ්වර නමැති 17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා 2017 වර්ෂයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේදී
විෂයයන් 09ටම සම්මාන සාමාර්ථ 09ක් ගෙන ඇති බව කියයි.

රේදා අතුරුදන්ව ඇති ශිෂ්‍යයා ඇතුළු 08 දෙනෙක් කෑගල්ල නගරයේ අමතර පන්තිවලට සහභාගි වන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති බව පොලිසිය කියයි. පසුව ඔවුන් 08 දෙනා කෑගල්ල නගරයේ අමතර පන්තියකට ආ බවත් එක් ශිෂ්‍යයෙක් පන්තියට නොපැමිණීම හේතුවෙන් මෙම සිසුන් 08දෙනා පන්තිය අසලට ගොස් ආපසු හැරී කෑගල්ල නගරයට පැමිණ ඇත.


පසුව මියගිය ශිෂ්‍යයා සෙසු සහෝදර ශිෂ්‍යයන් හට මොරොන්තොට, ගල්ගෙඩියාන. ගුරුගොඩ ඔයේ ඇල්ලට යමු කියා යෝජනා කර ඇත. පසුව ශිෂ්‍යයන් 8දෙනා කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ බස් රථයක නැඟ මොරොන්තොට නගරයෙන් බැස ගල්ගෙඩියාන මාර්ගය දිගේ ගොස් දහවල් 12ට පමණ ගුරුගොඩ ඔයේ ඇල්ල අසලට පැමිණ ඇති බව අනාවරණය වේ.


කෑගල්ල ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාපතනය නිසා ගුරුගොඩ ඔයේ ජල මට්ටම වෙනදාට වඩා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශයේ ජනතාව කියයි. වසරකට වරක් මෙම ස්ථානයේ පුද්ගලයකුගේ ජීවිතයක් අහිමි වන බවද ප්‍රදේශවාසීන් කියා සිටියි. මෙම ඇල්ල අසල දිය නෑම අනතුරුදායක බව දන්වා දැන්වීම් පුවරු සවි කර තිබුණද අෑත ප්‍රදේශවලින් එන ජනතාව එය නොතකා දිය නාන බවද එහිදී අනාවරණය විය.ඇල්ල අසලට පැමිණි ශිෂ්‍යයන් 8 දෙනා ඇල්ලෙන් දිය නා පසුව ඔවුන් ගොඩට පැමිණ ගලක් උඩ සිටියදී ශිෂ්‍යයකුගේ දුරකථනය ඇල්ලට වැටී ඇත. පසුව අතුරුදන්ව ඇති ශිෂ්‍යයා ඇල්ලට වැටුණු දුරකථනය අරන් දීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ඇල්ල වළට වැටී ඇත. වළට වැටුණු ශිෂ්‍යයා එක් වරක් අත් දෙක උස්සා උඩට ආ බවත් පසුව දිය යට නොපෙනී ගිය බවත් අසල සිටි ශිෂ්‍යයෙක් පොලිසියට පැවැසීය


ඉතිරි ශිෂ්‍යයන් 07 දෙනාගෙන් 05 දෙනෙක් ඒ අවස්ථාවේදී ආපසු සිය නිවෙස් වෙත ගොස් තිබිණි. සෙසු දෙදෙනා පසුව අනතුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට දන්වා තිබුණද ඒ වන විටත් ගුරුගොඩ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබීමෙන් කිසිවකු අතුරුදන්ව ඇති ශිෂ්‍යයා සෙවීමට උනන්දු වී නොමැත. පසුව ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන්ව ඇති ශිෂ්‍යයාගේ මවුපියන්ටත් බුලත්කොහුපිටිය පොලිසියටත් මේ බව දන්වා තිබිණි. ඒ සමඟ රාත්‍රි කාලය එළැඹීමත් සමඟම අතුරුදන් වූ ශිෂ්‍යයා සෙවීම අතහැර දමා තිබිණි.


මේ සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලිසිය, කොළඹ වරාය රංගල ශ්‍රී ලංකා නාවික නෞකා අංශයට දැනුම් දීමෙන් පසු නිලධාරියකු ඇතුළු නාවිකයන් 06 දෙනකු සමඟ ප්‍රදේශයේ ජනතාව ඊයේ 07දා පෙරවරු 09 සිට අතුරුදන් වී ඇති ශිෂ්‍යයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත. ඊයේ දහවල් 02 වන තෙක් අතුරුදන් වූ ශිෂ්‍යයා සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon