අධිකරණ නියමයෙන් රඳවා තිබූ වාහන 18ක් අස්ථාන ගතවෙලා

  👤  2450 readers have read this article !
By mawbima 2018-11-08

මිනුවන්ගොඩ -
ටෝනි කේ. අතුකෝරල


රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් නීති විරෝධීව මෙරටට ගෙනෙන ලද වාහන කොටස් එකලස් කර වාහන නිපදවන බවට සැකකරන මිනුවන්ගොඩ ජාපාලවත්ත කර්මාන්ත පුරයේ පිහිටි ආයතනයක අධිකරණ නියමයෙන් රඳවා තිබූ එකලස් කරන ලද වාහන 18ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම වාහන 18 සහ එම ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා වලාන දූෂණ මර්දන අංශයට සහ රේගු විශේෂ විමර්ශන අංශයට ඊයේ (7දා) නියම කළේය.


අධිකරණ නියෝග නොතකමින් අයුතු ඇතුළුවීමක් සහ වාහන සොරකමක් සිදුව ඇති හෙයින් එම අත්අඩංගුවට ගැනීම් කරන ලෙසට නියම කෙරිණි.


2017 වර්ෂයේ ජනවාරි 31දා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මිනුවන්ගොඩ ජාපාලවත්තේ පිහිටි එම ආයතනයේ තිබී වාහන 54ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා මාර්තු 16දා එම වාහන 54 භාරදුන් බව වලාන


දූෂණ මර්දන අංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පැවැසීය.


එම වාහන 54න් 28ක් අධිකරණ නියමයෙන් ජාපාලවත්තේ පිහිටි එකී ආයතනයේ ඉබි යතුරු දමා සීල් කර තිබූ බවත් එයින් වාහන 18ක් සීල් කඩා අස්ථාන ගතකර ඇති බවත් එම වාහන 18හි වටිනාකම රුපියල් මිලියන 52ක් බවත් සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.


රේගුවට මෙම වාහන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණයට නියම කර ඇතත් රේගුවේ උසස් නිලධාරීන් සමඟ ආයතන හිමිකරු දැඩි සම්බන්ධතාවක් පවත්වන හෙයින් පරීක්ෂණ සිදු නොවන බවත්


පරීක්ෂණ පවත්වන නිලධාරීන්ගේ නම් රේගුවේ උසස් නිලධාරීන් එම ආයතනයේ හිමිකරු ලබාදී
පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරන බවට එන්තරවාසි එවා නිලධාරීන් බිය කිරීමට එම ආයතනයේ හිමිකරු කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමය වෙනුවෙන් පෙනී සිටි
ජේ‍යෂ්ඨ නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ පැවැසීය.


රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රෝහිත විජේකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම වාහන 54 සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රේගුවේ ඇතැම් උසස් නිලධාරීන් ඉඩ ලබා නොදෙන බවත් මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන විට මරණීය තර්ජන එල්ල වන බවත් පවසා සිටියේය.


පරීක්ෂණ අවසන් කරන ලෙසට අධිකරණය හමුවේ පෙනී සිටි රේගු නිලධාරීන්ට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව නැවත නොවැම්බර් 21දාට කැ¼දවීමට නියම කළේය.
වලාන දූෂණ මර්දන අංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා සමඟ එම ස්ථානයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. රංජිත් රාජපක්ෂ, උ.පො.ප. සරත් ධර්මසිරි යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon