යහපාලන ආණ්ඩුවේ තටු කැපුවේ ජනාධිපතිමයි

  👤  2526 readers have read this article !
By mawbima 2018-11-08

පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකු වී වැඩ කරන්න දුන්නේ නෑ කියලා අඬපු ජනාධිපති සිරිසේන මහත්තයා අද තමන්ගෙම ආණ්ඩුවේ ජනාධිපතිවරයා වෙලත් වැඩ කරන්න දුන්නේ නෑ කියලා අඬනවා. ඉතින් ඇත්තටම රටේ ජනතාවට හිතා ගන්න පුළුවන් එදත් අදත් සිදු වුණේ මොකක්ද කියලා.


මේ ජනාධිපතිවරයා තමයි ශ්‍රී ලාංකික ඉතිහාසයේම විහිළු කතා කියන ජෝකර් කෙනෙක් වුණ දේශපාලනඥයා. එතුමා ජනාධිපති කිරීම සඳහා එ.ජා.ප. ඡන්ද ලබාදීම සම්බන්ධයෙන් අපි මේ වන විට කනගාටු වෙනවා. මෙවැනි කතා ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පිළිකුල්ම කතා බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.


මෙතුමා අද කියන කතා ගැන පුදුම වෙන්න දෙයක් නෑ. වසර 30ක් ශ්‍රී ල.නි.ප.යේ ඉඳලා ඇවිල්ලා එදා මහින්ද මහත්තයාට කිව්වෙත් ඔය වගේ කතා තමයි. මොන මිනිහගේ පිටේ හරි නැඟලා ජනාධිපති වෙන්න ඕන කමට බොරු කියන අකෘතඥ දේශපාලනඥයෙක් වශයෙන් මෙතුමා ඉතිහාස ගත වෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ පවුලට කිව්වා රත්රන් අශ්වයෝ ගැන. අශ්වයෝ පදින්න නුවර යනවා කිව්වා. හෙලිකොප්ටර් ගැන කිව්වා. තව නොකිව්වේ මොනවාද? නමුත් බලයට ඇවිල්ලා ඒ එකක්වත් ඔප්පු කරන්න බැරි වුණා.


මාස හතර පහක් යනකොට මිනිස්සු තේරුම් ගත්තා ඇත්ත මොකක්ද කියලා. ඒ වගේම අද මේ කියන කතා ගැනත් කියන්න තියෙන්නේ ඒ දේම තමයි. තව මාස දෙක තුනක් යනකොට මිනිස්සු තේරුම් ගනීවි එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර අමාරුවෙන්ද මේ වගේ අකෘතඥ සිල්ලර දේශපාලනඥයන් එක්ක ආණ්ඩු කළේ කියලා.
මීට වඩා හො¼දයි හිට්ලර්ලා. ඒ අය කිව්ව දේ කළා. නමුත් මේ වගේ නායකයන් කියන්නේ එකක්, කරන්නේ එකක්. යහපාලනය කියලා අපි කරන්න හදපු කිසිම දෙයක් කරන්න නොදුන් මේ ජනාධිපතිවරයා යහපාලන තටු කඩා දැම්මා.


අද ජනාධිපතිවරයාගේ කතා අහගෙන හිනාවේවී ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ තව මාස තුන හතරකින් ඔබලාටත් ඔය වගේ කතාවක් කියන්න පුළුවන්. මට පුදුම මහින්ද මහත්තයා මේ වැඩේට අහුවෙච්ච එක ගැන. අර කතාවක් තියෙනවා, ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියලා. නමුත් මහින්ද මහත්තයා එහෙම පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ. මම ආයිත් එතුමන්ට මතක් කරන්න කැමැතියි 2015දී ඔබතුමා ගැන එක එක කතා කියපු ඔබතුමාගේ පක්‍ෂයේ හිටපු ලේකම්වරයා තමයි ඔය ජනාධිපති සිරිසේන මහත්තයා කියලා.


අද සියලු දෙනාට ඔප්පු වෙලා තියෙනවා කවුද අපේ ආණ්ඩුවේ හොරු අල්ලන්න දුන්නේ නැත්තේ කියලා. කවුද වැඩ කරන්න දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම අපි අද දුක් වෙනවා, කනගාටු වෙනවා මේ වගේ ජනාධිපතිවරයෙක් පත් කරන්න අපේ එ.ජා.ප. ඡන්ද දායකයන් වුණ මහන්සිය ගැන.
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon