මම අගමැති ධුරයේ සිටියදී ජනාධිපති රනිල්ව අගමැති ලෙස පත්කළා

  👤  2642 readers have read this article !
By mawbima 2018-11-08

දේශපාලනඥයන්ගේ ගැටුම් නිසා පසුගිය වසර තුන තුළ මේ රට වේගයෙන් ආපස්සට ගමන් කළ බවත් ඒ නිසා නව අගමැතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව හිටපු අගමැති දි.මු. ජයරත්න පැවැසීය.


මහනුවර මුල්ගම්පොළ ජේ.පී. කැබ්ස් ආයතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.


අදටත් මම ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරනවා. මගේ චින්තනයට අනුව ඒ ප්‍රතිඵල ලැබී ඇතැයි මම කල්පනා කරනවා. පසුගිය වසර තුන තුළ මේ රට ඉදිරියට නොගිය නිසා මේ ආණ්ඩු වෙනස් වීම ඉතාම වැදගත් කියා මම සිතනවා. පසුගිය වසර තුන තුළ මේ රට වේගයෙන් ආපස්සට ගමන් කළා. එයට හේතුව ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සහ රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවාට වඩා දේශපාලනඥයන් අතර බල අරලයයි. ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් වසර 5යි. ඉන්පසු ජනතාවගේ මැතිවරණයක් පවත්වා කැමැත්ත අනුව ආණ්ඩුවක් පත් කළ යුතුයි. නමුත් වසර තුනක් ජනතාවගේ කැමැත්තට ඉඩ නොදී මැතිවරණයක් නොපවත්තා කටයුතු කිරීම කොතරම් අපරාධයක්ද කියා අප කල්පනා කළ යුතුයි.


නමුත් නව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා පත් කිරීම හරිද කියා බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්. නමුත් මේ රටේ සියලු දෙනාම දන්නවා මන්ත්‍රිවරු හතළිස් ගණනක් පමණයි එදා එක්සත් ජාතික පක්ෂයට හිටියේ. එදා තුනෙන් දෙකකට වඩා මන්ත්‍රිවරු මා සමඟ හිටියා. නමුත් එදා මගේ අගමැතිකම හතළිස් ගණනක් සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නා. එදා මම අගමැති. මට තුනෙන් දෙකක් ඡන්ද තිබුණා. එක්සත් ජාතික පක්ෂයට හිටියේ මන්ත්‍රිවරු 42යි. එදා මන්ත්‍රිවරු 64ක් තිබුණු මාව අගමැතිකමින් අයින් කර මන්ත්‍රිවරු 42ක් සිටි කෙනාට අගමැතිකම දුන්නා.


නමුත් මම එදා කිසිදු සද්දයක් දැම්මේ නැහැ. නමුත් සමහරු ඇවිත් මට කීවා වහාම උසාවි ගිහින් මෙයට එරෙහිව කටයුතු කරන්න කියලා. මම කීවා එය කරන්න බැහැ. ව්‍යවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ හැඟීම අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන බවට කල්පනා කරන පුද්ගලයා අගමැති කළ යුතුයි කියලයි. නමුත් දැන් කිසිවෙක් මගෙන් විමසුවොත් ඔබතුමා මේ කාටද උදවු කරන්නේ කියලා. ඒකට මට අයිතියක් තිබෙනවා තමන් කැමැති කෙනාට උදවු උපකාර කරන්න. ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව අගමැතිවරයෙක් පත් කළ යුතුයි කියා නීතියෙන් බලය දී තිබෙනවා. සම්පන්දන් අගමැති කරනවා කීවත් කරන්න දෙයක් නැහැ. එය පනතේ ස්වභාවයයි. ඒ නිසා අද ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා මේ පත්කිරීම නීත්‍යනුකූලයි කියලා. ඒ නිසා අප මේ පත්වීම නීත්‍යනුකූලයි කියා පිළිගත යුතු වෙනවා.


වසර තුනක් තිස්සේ මේ රට විනාශය කරා ගමන් කළා. අද ජනතාවට ජීවත් වන්න අමාරුයි. දුප්පත් අයකුට නිසි ලෙස කන්න අඳින්න නැහැ. සමහරුන්ට තුන්වේල කන්න නැහැ. තම දරුවන්ට උගන්වා ගන්න බැහැ. ඒ නිසා වැරැදි දේශපාලන චින්තන පසෙකලා අප මේ රට දියුණු කළ යුතුයි. අපි ඒ සඳහා එකාමෙන් කටයුතු කළ යුතුයි. ජාති, ආගම් සහ දේශපාලන වශයෙන් නොබෙදී මේ රට දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.
මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon