ජනාධිපති රනිල්ව අගමැති කරපු වෙලාවේ කථානායක පුටුවේ සිටි චමල් එය ප්‍රශ්න කළේ නෑ

  👤  2461 readers have read this article !
By mawbima 2018-11-08

අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු නව ආණ්ඩුවේ වැඩකටයුතු නියම ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.


ඊයේ (07දා) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.
අබේවර්ධන මහතා මෙසේද පැවැසීය.


නිශ්චිත වශයෙන්ම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ 14 වැනිදායි. ඊට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම බලයක් ජනාධිපතිතුමාට නැහැ. මේ වන විට රජයේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වහාම පියවර ගන්න කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. අගමැතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස එම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වී තිබෙනවා.


මනූෂ නානායක්කාර මන්ත්‍රිතුමා එ.ජා.ප.යට සහාය දීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ කතා පළ වෙනවා. මනූෂ මන්ත්‍රිතුමා මේ වන විට කොහේද ඉන්නේ. සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් කියන හෝටලයේයි එතුමා නැවතිලා ඉන්නේ. ඒ හෝටල් කාමරයක නැවතිලා ඉන්නවාට දිනකට ගෙවන්න ඕනේ විශාල මුදල් ප්‍රමාණයක්. මේවාට මුදල් හම්බ වෙන්නේ කොහොමද කියලා මනූෂ මන්ත්‍රිතුමා ලංකාවට ආවාට පස්සේ මාධ්‍යයට ප්‍රශ්න කරන්නට පුළුවන්.


ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකගේ පත්වීමත් තව නොබෝ දිනකින් සිදුවේවි. ආණ්ඩුවේ කටයුතුවලට මේ වන විට කිසිම බාධාවක් නැහැ.


කවුරුත් දන්නවා මේ රටේ ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ඉස්සර වෙලාම කරන්නේ අගමැතිවරයාව පත්කිරීමයි. කථානායකව නොවේ පළමුවෙන්ම පත් කරන්නේ. අගමැතිවරයාගේ පත්වීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් ශේ‍ර්ඨාධිකරණයට ගිහින් විසඳගන්න පුළුවන්. නමුත් කවුරුවත් එහෙම කරලා නැහැ.
මෙහිදී මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළ අතර එහිදී මෙසේ පැවැසීය.

 

රාජ්‍ය සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය පිළිබඳව ඔබ කතා කළා. මොකක්ද ඒ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුව වශයෙන් ගත් පියවර?


ජනාධිපතිතුමා කිව්වේ ඒ කාරණය නිවැරැදි ක්‍රමයකට විය යුතුයි කියලයි. එතුමා කිව්වා ඒ සම්බන්ධයෙන් නිවැරැදි වාර්තාවක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේකෙන් අත් වන වාසියක් නැහැ. ඔවුන්ට වාහනයක් ලැබිලා තියෙනවා වසර 5කට. අලුතෙන් ඇමැතිවරු වුණා කියලා ඔවුන්ට නැවත වාහන ලැබෙන්නේ නැහැ.
ඔබතුමාලා අලුත් කථානායකවරයෙක් පත් කරගන්නවාද?


අපිට එහෙම අවශ්‍යතාවක් නැහැ. කථානායකවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් අපිට ප්‍රශ්නය තිබෙන්නේ එතුමාගේ ක්‍රියකලාපය ගැනයි. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්‍ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් එය වැරැදියි. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරන අවස්ථාවේ චමල් රාජපක්‍ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා.


ජ.වි.පෙත්, ටී.එන්.ඒ. එකත් මොන විදියේ බලපෑමක් ඇති කරාවිද?


ජ.වි.පෙ. විවිධ කාරණා හදනවා. ඔවුන් 20 වැනි සංශෝධනය ගෙනාවේ එ.ජා.ප.යේ වුවමනාවට. ඔවුන් හදන්නේ එ.ජා.ප.යට ඡන්දයක් දෙන්න පුළුවන් වන ආකාරයේ පසුබිමක් සකස් කිරීමටයි. එහෙම කළොත් ජ.වි.පෙ. ඉවරයි.


පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්ද දැන්?
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිව්වොත් එය කළ හැකියි. යම්කිසි අස්ථාවරතාවක් ඇති වුණොත් ජනාධිපතිවරයාටත් එය කළ හැකියි. අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා හැකියි. පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon