ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා අටවාගත් ආණ්ඩුව ලෝකයේ කිසිදු රටක් පිළිඅරන් නෑ

  👤  2416 readers have read this article !
By mawbima 2018-11-08

ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ක්‍රියාදාමය හේතුවෙන් වසර තුනක් තිස්සේ ජාත්‍යන්තරය තුළ ගොඩනැඟු විශ්වාසය මුළුමනින්ම බිඳවැටී ඇති බවත් ජපානය, ඇමෙරිකාව යුරෝපා රටවල් පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට සූදානම් වූ මූල්‍යාධාර අත්හිටුවීමෙන් මෙරට සංවර්ධනය මෙන්ම සමස්ත රාජ්‍ය පරිපාලන තන්ත්‍රයම අකර්ණම්‍ය වී ඇතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.


දේශපාලනඥයන් ලෙස අප සැමවිටම ඇපකැප විය යුත්තේ ජනතාවගේ ඉඩම්, නිවාස, විරැකියාව ඇතුළු දහසකුත් එකක් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට බව සඳහන් කරන සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් ජනතාව කබලෙන් ළිපට ඇදදැමීමේ ප්‍රයත්නය හේතුවෙන් නිර්මාණය වූ මෙම අර්බුදයට ඇති එකම විසඳුම පාර්ලිමේන්තුව වහාම රැස්කර බහුතරය හිමි පාර්ශ්වය කවුදැයි නිගමනය කිරීම බවද සඳහන් කරයි.


අරලියගහ මන්දිරයේ පිහිටි විශේෂ මාධ්‍ය ඒකකයේදී ඊයේ (07දා) දහවල් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අදහස් පළකළ ප්‍රේමදාස මහතා මෙසේද කීය. "මේ උදා වී ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අඳුරුම කාල පරිච්ඡේදය බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කළ යුතුයි. ඒ මතය මා පමණක් නොව ලංකාවාසී සෑම පුරවැසියෙක්ම පිළිගන්නා සත්‍යයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා අක්‍රමවත් ලෙස හදාගත් මෙම නීති විරෝධී ආණ්ඩුව මුළු රටම පමණක් නොව ලෝකයේ රටවල් කිසිවක් පිළිගන්නේ නැහැ. එපමණක් නොව රටේ හැම තැනක්ම අස්ථාවර තත්ත්වයට පත්වෙලා. මෙරටට සැලකිය යුතු ආදායමක් ලැබෙන සංචාරක කර්මාන්තය කඩා වැටිලා. එමඟින් ජීවන මං සලසාගත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අසරණ වෙලා.


රාජ්‍යතාන්ත්‍රික විදේශ සබඳතා ඇනහිටලා. සංචාරකයන් වැඩිම පිරිසක් මෙරටට එන රටවල් අනතුරු අඟවා තිබෙනවා මේ වනවිට සංචාරකයන්ට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ නොමැති බව. මම ඉතා ගෞරවයෙන් ඒ වගේම කරුණාවෙන් අවධාරණය කරන්නේ මේ ප්‍රශ්නයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. එක් එක් පාර්ශ්ව කියන කාරණා සත්‍යයද බැලිය හැක්කේ එමඟින් පමණයි. අපට බහුතරය තිබෙන නිසා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ඉල්ලන විට ප්‍රතිවාදීන් බහුතරය නොමැති නිසා පාර්ලිමේන්තුව කල්දානවා. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ මේ රටේ ලක්‍ෂ 220 කගේ ජීවිත සමඟයි. මර්දන ක්‍රියාවන්ගෙන් මුළු රටම ලේ විලක් නොකර ජනසම්මතවාදීව, ප්‍රජාතන්ත්‍රවාදීව, පාර්ලිමේන්තුව 14 වැනිදාට පෙර කැඳවන ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා.


බලය ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන මහත්මා ගාන්ධිතුමා සඳහන් කර තිබෙනවා. එකක් බලය හා මර්දනය යෙදවීමෙන්. දෙවැන්න විශ්වාසය දිනාගෙන සන්සුන්ව කටයුතු කිරීමෙන්. ඒ අනුව බලහත්කාරයෙන්, මර්දනයෙන් බලය ලබාගන්නවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව බලය ලබා ගැනීමයි ලොව පිළිගත් සදාචාරය වී ඇත්තේ.

බලහත්කාරයෙන් මර්දනයෙන් බලය ලබාගැනීමට ගියොත් සමස්ත රටම දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටෙනවා. ජනතාවගේ නිදහසේ අයිතිය, ජනතා පරමාධිපත්‍යය මුළුමනින්ම විනාශ වෙලා. අවුරුදු තුනහමාරක් තිස්සේ අප ඇපකැප වී ජාත්‍යන්තරයෙන් දිනාගත් සියලුම දේ මෙම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව නිසා දින කිහිපයක් තුළ අහිමි වී ගියා. රට විනාශ කරන අවස්ථාවාදී දේශපාලනය වෙනුවට රට හා ජනතාව ජයග්‍රහණය කරවන දේශපාලනයේ යෙදීමයි අපේ ප්‍රතිපත්තිය. අපි හැමවිටම තාවකාලික දේශපාලන භාරකරුවෝ. ජනතාව අපට ඒ භාරකාරත්වය කලින් කලට ලබා දෙන්නේ ජනතාව සුඛිත මුදිත කිරීමටයි. ඒ නිසා මේ ප්‍රශ්නය තවදුරටත් කල් නොදමා රටේ අවශ්‍යතා ඉටු කිරීමට බහුතරය තිබෙන්නේ කාටද කියා මැර බලයෙන් නොව සාමකාමීව විසඳිය යුතුයි.


මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා, අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට ඇරැයුම් කළද විධිමත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වනවිට නිසි ක්‍රමවේදයන්ට, විධිමත් වැඩ පිළිවෙළකට අනුව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ යුතු නිසාත්, නායකයන් දෙපළ අතර සාමය හා සංහිඳියාව ශක්තිමත් කළ යුතු නිසාත් එම ඇරැයුම කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.
පක්‍ෂ නායකයා අගමැති විය යුතු බවක් පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ විට හෙතෙම පැවැසුවේ පක්‍ෂ ව්‍යවස්ථාව අධ්‍යයනය කර ඒ පිළිබඳව පිළිතුරක් දිය හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon