ඉඩම් ආරවුලක් දුරදිගගොස් පුතා පියාට පොරවෙන් කොටා ඝාතනය කරයි

  👤  2437 readers have read this article !
By mawbima 2018-11-08

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද


පිය - පුතු දෙදෙනා පදිංචි ඉඩමේ ඔප්පුව සම්බන්ධව ඇති කරගත් ආරවුලක් දුරදිග ගොස් පුතා විසින් පියාට පොරවෙන් කෙටීමෙන් බරපතළ තුවාල ලැබූ පියා වාරියපොළ රෝහලට පෙරේදා (06දා) සවස ඇතුළත් කර ටික වේලාවකට පසු මියගිය බව වාරියපොළ පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ වාරියපොළ මළගනේ කොස්වත්තපිටිය ගමේ පදිංචිව සිටි හේරත් ඉමි හාමිලාගේ ගාමන් ඒනිස් ටයිටස් (63) නමැති දෙදරු පියෙකි.


සිද්ධිය සම්බන්ධව පොලිසිය කළ පරීක්ෂණ අනුව මියගිය අය පළමු විවාහයෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන ඇති බවත් සැකකාර පුතාද විවාහ වී එක් දරුවකු සිටින බවත් මොවුන් සියලුදෙනාම එකම නිවෙසේ ජීවත්ව සිටින බවත් පියාගේ දෙවැනි විවාහයේ බිරියට ඉඩමේ අයිතිය පවරාදීමට යෑම ගැන ආරවුලක් ඇති වී තිබුණු බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි. පිය - පුතු දෙදෙනා 06 වැනිදා සවස ඉඩමේ ඔප්පුව සම්බන්ධව ඇති කරගත් ආරවුල දුරදිග ගොස් පුතා පොරවෙන් පියාගේ පපුවට හා ඉල පෙදෙසට කොටා බරපතළ තුවාල සිදුකිරීමෙන් රෝහල් ගතකර ටික වේලාවකට පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.


වාරියපොළ වැඩබලන මහෙස්ත්‍රාත් චමිලා දිල්රුක්ෂි ජයමහ මහත්මිය අපරාධය සිදුවූ ස්ථානය පරීක්ෂා කර බලා පැවැත් වූ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියමකර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාරියපොළ පොලිසියට නියෝග කළාය.


ඝාතනයට සම්බන්ධ යැයි කියන සැකකරු සමඟ ඝාතනය කිරීමට උපයෝගි කරගත් පොරව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


කුරුණෑගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහත්වරුන්ගේ උපදෙස් පිට වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයවීර, පොලිස් සැරයන්වරුන් වන කරුණාතිලක (17782), අමරසිංහ (30981), සෝමරත්න (25287) හා පොලිස් කොස්තාපල් ලක්මාල් ((1028) යන නිලධරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon