ලක්‍ෂ පනහක් වටිනා හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

  👤  2381 readers have read this article !
By mawbima 2018-11-08

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර


රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා හෙරොයින් තොගයක් බංගදෙණිය දෙමටපිටිය ප්‍රදේශයේ නිවෙසකදී 40 හැවිරිදි සැකකරුවකු සමඟ පෙරේදා (06දා) අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කණ්ඩායමක් සමත් වූහ.


මාරවිල නගරයේ බස් නැවතුමේ සිටියදී හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කළ පාපෝච්චාරණයකදී හෙළිවූ තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් බංගදෙණිය දෙමටපිටිය ප්‍රදේශයේ නිවෙසක් සෝදිසි කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් 18ක පැකැට් තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.


සැකකරුගේ සහෝදරියක් සහ ඇයගේ සැමියා මීට පෙර අවස්ථා කිහිපයකදී හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී දැනට බන්ධනාගාර ගතවී ඇති අතර ඔවුන් බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන පණිවුඩ මාර්ගයෙන් සැකකරු මත්කුඩු ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


හෙරොයින් වත්තල ප්‍රදේශයෙන් සැකකරුගේ නිවෙසට ගෙනවිත් මත්කුඩු කන් හැන්දක ප්‍රමාණයක් පැකට් කර එම පැකැට්ටුවක් රුපියල් දෙදාස් පන්සීයක මුදලකට විකුණා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.


මෑත කාලයේ මාරවිල පොලිසියෙන් සොයාගත් වැඩිම හෙරොයින් මත්කුඩු තොගය මෙය වන බවද මෙම ජාවාරමට තවත් සැකකරුවන් සම්බන්ධ වී සිටීද යන්න පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි. තිදරු පියකු වන 40 හැවිරිදි සැකකරු මාරවිල උසාවිය හමුවට ඊයේ (07දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


වෙන්නප්පුව හා නාත්තන්ඩිය පොලිස් අධිකාරි අර්නස් පෙරේරා මහතාගේ උපදෙස් මත මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ අධීක්ෂණයෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා, සැරයන් ප්‍රනාන්දු (31563), කොස්තාපල් සුජීව (48270), පුෂ්පකුමාර (60931), සුමේධ (74902), ඒකනායක (68416), ධනුෂ්ක (378980) හා කාන්තා පොලිස් කොස්තාපල් අමන්දා (10081) යන මහත්ම මහත්මීහු මෙම වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon