ජනාධිපතිතුමා ඝාතනය කරන්න එජාපය කුමන්ත්‍රණය කළා

  👤  2534 readers have read this article !
By mawbima 2018-11-08

අගමැතිවරයා හා ආණ්ඩුවේ ඇමැතිවරුන් පත්කිරීම නීති විරෝධී නම් එය විස¼දාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ අධිකරණයට යෑම පමණක් බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර පැවැසීය.


එසේ නොමැතිව අරලියගහ මන්දිරයට වී තානාපතිවරුන්ට කේලාම් කියා රට අවුල්කිරීම නොවන බවද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (7දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය.
එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


ජනාධිපතිතුමා ගත්තු මේ තීරණය ගැන යම් ප්‍රශ්නයක් කාටහරි තියෙනවා නම් යන්න තියෙන්නෙ පාර්ලිමේන්තුවට නොවේ, ශේ‍ර්ෂ්ඨාධිකරණයටයි. 2015 මේ වගේම දෙයක් සිදු වුණා. ඒත් එදා ජවිපෙ සහෝදරවරුන් මේ විදියට ප්‍රශ්න කළේ නෑ. අද මොකක්ද මේ හැදිල තියෙන අලුත් ප්‍රශ්නය.


රෑට නිදාගෙන ඉන්නකොට බිරිය පොල්ලක් අරන් ගහන්න හදනව නම් එක්කො ඩිවොස් වෙන්න ඕන, නැත්නම් ගෙදරින් යන්න ඕනෙ. මේ වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නෙත්. ජනාධිපතිතුමා ඝාතනය කරල වෙන ජනාධිපති කෙනෙක් පත්කරන්නයි එක්සත් ජාතක පක්ෂය කුමන්ත්‍රණය කළේ. ඒ වගේම රටේ ආර්ථිකය නිසා ජනතාව අතරත් විශාල විරෝධයක් තිබුණා. මේ හැම දෙයක්ම හිතල තමයි ජනාධිපතිතුමා මේ තීරණය ගත්තෙ.


අපි මේ ආණ්ඩුවෙහි, මේ ප්‍රශ්නය විසඳන්න කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර ගෙනැල්ල කතා කළා අගමැති ධුරය භාර ගන්න කියලා. ඒත් වික්‍රමසිංහ මහත්තය කාටවත් දුන්නේ නෑ. මමත් අවුරුදු 14ක් ඒ පක්ෂයේ හිටියා. මම දන්නවා වික්‍රමසිංහ මහත්තයා ගහන ගේම් මොනවගේද කියලා.
ඒ වගේම කථානායකවරයා දැන් එතුමාගේ භූමිකාවෙන් බැහැරව කටයුතු කරනවා. මීට පෙරත් කථානායකවරු හිටියා. වාර අවසන් වෙලා තියෙන වෙලාවක ඔවුන් මෙහෙම හැසිරුණේ නෑ.


ඒ වගේම ජනාධිපතිතුමා කියපු 'සමනල රෑන' ගැන දැන් විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරනවා. ඒක දැඩි ලෙස පාවිච්චි කරනවා ජනාධිපතිතුමාට විරුද්ධව කතාකරන්න. දැන් විජය කුමාරතුංග මහත්තයා ඝාතනය කරපු වෙලාවේ කිව්වේ සමනලයෙක් මැරුවා කියලා. රාජිත මහත්තයට පක්ෂයක් තිබුණලු සමනල ලකුණින්. ඉතින් මේ ජනාධිපතිතුමා කිව්ව කතාවෙන් වෙනත් ලිංගික කොට්ඨාසයක් ගැන අර්ථකථනය දෙන්න උත්සාහ කරන්න එපා.


රංජිත් සියඹලාපිටිය මහතා,


ජනාධිපතිතුමා ගත්ත තීරණය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ තීරණය ගැනීම ගැනත් අපට සතුටුයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට මෙය සියයට සීයක් එකඟයි. මේ සුසංයෝගය රැකගන්න අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. අපි ඕනෑ කැප කිරීමක් මේ වෙනුවෙන් කරනවා.
හිටපු ඇමැතිවරුන් ඒ අයගේ කලින් ලිපි ශීර්ෂ යටතේ ලියුම් යවනවලු. ඒක බොළඳ ක්‍රියාවක්. මේකෙන් වෙන්නෙ රාජ්‍ය නිලධාරීන් නොමඟ යැවීමක් විතරයි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමා මේ නව පත් කිරීම් සිදුකරලා තියෙනවා. එයට අභියෝග කරන්න කිසි කෙනකුට පුළුවන් කමක් නෑ.


ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,


ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළේ නීත්‍යනුකූලවයි. එයට අභියෝග කරන්න කාටවත් බෑ. දැන් එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවට නිර්වචන ගන්න හදනවා. කරන්න තියෙන්නෙ ශේ‍ර්ෂ්ඨාධිකරණයට යෑම. නමුත් හිටපු අගමැතිතුමා එහෙම කරන්නෙ නෑ.


මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලටද දයාසිරි ජයසේකර ඇමැතිවරයා පිළිතුරු දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය කියනවා එයාලට 119ක් ඉන්නවා කියලා. එතකොට ඔබතුමාලට කීයද හරියටම?


මම දන්නෙ නෑ එකතුවල කොහොම ගණන් හදනවද කියලා. දැන් අපට 105ක් ඉන්නවා. එයාලට 98යි ඉන්නෙ. ටීඑන්ඒ එකෙන් එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ අය හදන්නේ යූඑන්පී එකෙන් ඊළඟ පාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න. මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාගෙ පැත්තෙ හිටගත්තොත්, ඉදිරියේදී දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවකදි අපට සිද්ධ වෙනවා ඊට විරුද්ධව පෙළ ගැහෙන්න. ඒ නිසා සම්පන්දන් ගැන අපි කලබල වෙන්නෙ නෑ.


ලසන්ත අලගියවන්න ඇමැතිතුමා යූඑන්පියට යනවද?
නෑ. නෑ. එතුමා ගැන ලොකු මඩ ප්‍රචාරයක් යනවා එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා. එතුමගේ දරුවගේ ඔපරේෂන් එකකට එතුමා මේ වෙනකොටත් එංගලන්තයේ ඉන්නෙ.
අරලියගහ මන්දිරය භාර දීල නෑ. ඇයි ඒක භාරගන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?


නෑ. ඒ අය හදන්නෙ ගැටුමක් ඇති කරගන්න. අපි ප්‍රශ්න දාගන්න යන්නෙ නෑ. එහෙම වුණොත් තානාපති කාර්යල හරහා රටේ වෙන ප්‍රශ්නයක් නිර්මාණය වේවි.
රුචිර දිලාන් මධුශංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon