කටින් බතල සිටුවන්නන්ට මේ රට හදන්න බෑ

  👤  2422 readers have read this article !
By mawbima 2018-11-08

රටේ පාලකයන්ට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඉදිරි දැක්මක් තිබීම ඉතාමත් වැදගත් බවද එලෙස දැක්මක් හා සැලැස්මක් ඇතිව රට ගමන් කළ යුතු දිශාව තීරණය කිරීමෙන් රට සංවර්ධනය කරා යොමු කළ හැකි බවද ජනාධිපති නීතිඥ එම්.යූ. අලි සබ්රි තංගල්ලේදී පැවැසුවේය.


හිටපු උප කථානායක දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් දෙසිය දෙනෙක් සඳහා සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06දා) තංගල්ල නගරශාලාවේදී පැවැත්විණි.


එම වැඩසටහනේ ප්‍රධාන දේශනය පැවැත්වූ ජනාධිපති නීතිඥ එම්.යූ. අලි සබ්රි මෙසේද කීය,


"රටක් පාලනය කරන්න බලපොරොත්තු වන, නොඑසේ නම් රටේ පාලකයන්ට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඉදිරි දැක්මක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව අත්හදා බැලීම් හෝ පුහුණු වීම් සඳහා රටේ පාලනය ලබා ගැනීම හෝ රට පාලනය කිරීම වෙනුවට සැලැස්මක් සහ දැක්මක් ඇතිව රට ගමන් කළ යුතු දිශානතිය තීරණය කිරීමෙන් රට සංවර්ධනය කරා යොමු කළ හැකි බව අපි තේරුම් ගත යුතුව තිබෙනවා.


ශ්‍රී ලංකාවට සුදුසු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඉදිරි දැක්මක් සකස් කිරීමේදී අපි අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුයි. අපි ලත් ජයග්‍රහණ වගේම අපට වැරැදුණු තැන් ස්වයං විවේචනාත්මකව මෙනෙහි කරගත යුතුයි. අපේ උරුමයන් පිළිබඳව අපේ ශක්තීන් පිළිබඳව, අපට තිබෙන අභියෝග පිළිබඳව, අපේ සම්පත් පිළිබඳව සහ ආයෝජන අවස්ථා පිළිබඳව අධ්‍යයනයක යෙදී අපිට ගැළපෙන ඒ ඉදිරි දැක්ම සකස් කර ගත යුතුව තිබෙනවා.


අනෙක් අතට ලෝක ඉතිහාසය සහ අත්දැකීම් පිළිබඳවද මනා විග්‍රහයක් තිබිය යුතුයි. අපගේ අසල්වාසී රටවල් මෙන්ම, සෑම මහාද්වීපයකින්ම පාඩම් ඉගෙනගත යුතුයි. ලෝකයේ සමාජවාදී රාජ්‍ය කඩා වැටුණේ නම් ඊට පාදක වූ සාධක කවරේදැයි යන්නත් ධනවාදී ආර්ථික ක්‍රමයකින් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ පොදු ජනතාවට ලැබී නොමැත්තේ නම් එයින් උගත යුතු පාඩම් කවරේද යන්නත් අප අවධානය කළ යුතුයි. ඒ අනුව වෙනත් රටක න්‍යාය පත්‍රයකට අනුව හෝ වෙනත් රටක මොඩලයක් ඒ ආකාරයෙන්ම අනුකරණය කිරීමෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධානවලට අවශ්‍ය ආකාරයට හෝ රට පාලනය කිරීමෙන් තොරව අපට ගැළපෙන අපේ අනන්‍යතාවන් උකහා ගත් අපේම වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙරටත් වඩා දැන් රටට අවශ්‍ය වී ඇති බව මගේ හැඟීමයි.


ජාතිකවාදී අනන්‍යතා දේශපාලනයද හුදු මනෝරාජික හෝ අනුරාගික ආකාරයෙන් ආදේශ කිරීමට යෑම සුදුසු නොවන අතර හැමවිටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් විය යුතුයි. නොඑසේ නම් අප ලෝකයෙන් විතැන් වී හුදෙකලා වීම තුළ එය රට තිබුණු තත්ත්වයටත් වඩා අගාධයට ඇද දමන හිස් ප්‍රලාපයකට පමණක් සීමාවූ ජාතිකවාදයක් වනු ඇත. එය සරලව කියනවා නම් කටින් බතල හිටවීමකට සමානවනු ඇත.


ස්ථාවර සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැඟීමේදී මහජනතාව කියන සාධකය අමතක කර එකී ඉලක්කයට යා නොහැකියි. රජයකින් ජනතාව බලාපොරොත්තු වන සේවාවන් කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුයි. සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙත ක්‍රමානුකූලව සම්ප්‍රේෂණය කළ යුතු අතර එක් පන්තියක් හෝ කොට්ඨාසයක් පමණක් එහි වරප්‍රසාද භුක්ති විඳීම නතර විය යුතු යැයිද හෙතෙම කීය.
තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon