ජනාධිපති සමනලයන් ගැන කිව්වේ සමලිංගිකයන් ඉලක්ක කරගෙන නෙවෙයි

  👤  2549 readers have read this article !
By mawbima 2018-11-08

පසුගිය ආණ්ඩුවේ සමනලයන් පිරිසක් තීන්දු ගත් බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය මඟින් සමලිංගිකයන් පිරිසක් ගැන අදහස් නොකළ බව සම කැබිනට් ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැසීය.


ඔහු එම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්ය. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතාද එම අවස්ථාවට සහභාගි විය.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.


පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ආණ්ඩුවට විශ්වාසයක් තිබේද?
කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
අපට 113ට එහා ගිය පිරිසක් ඉන්න බව ස්ථිරයි.


ඒත් එජාපය කියන්නෙත් තමන්ට බහුතරය ඇති බවයි?
මහින්ද සමරසිංහ මහතා,
ඉතිං තියෙනව නම් විශ්වාසභංග යෝජනාවක් ගෙනත් පෙන්වන්න කියන්න ඒ බහුතරය. අපට අවශ්‍ය නැහැ බහුතරයක් පෙන්වන්න.


දින 12ක් තිස්සේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ නොකිරීමෙන් රටේ පරිපාලන කටයුතු අඩාල වෙනවා?
කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
නැහැ. අපට පුළුවන් 14 දක්වා එම කටයුතු සිදු කරන්න. මේ කෙටි කාලය තුළ අමාත්‍යාංශවල කටයුතු කරන්න ලේකම්වරුන්ට හැකියාව තිබෙනවා.


ආණ්ඩුවට බහුතරයක් තියෙනවා නම් පාර්ලිමේන්තුව රැස් කරන්න ප්‍රමාද ඇයි?
මොකද්ද ප්‍රමාද? 14 කැඳවන්න දින නියම කොට තිබෙනවා.


කැබිනට්ටුව එකවර පත් නොකරන්නෙ ඇයි?
එහෙම කරන්න ඕන කියල කොහේද තියෙන්නෙ.
මහින්ද සමරසිංහ මහතා,
මේ වනවිට කැබිනට් ඇමැතිවරු 17ක්, රාජ්‍ය ආමාත්‍යවරු 9ක්, නියෝජ්‍ය ඇමැතිවරු 9ක් පත්කර සිටිනවා. ලබන 14 පාර්ලිමේන්තුව පටන් ගන්නා විට සියලු අමාත්‍ය ධුර පත් කරලා ඉවර වෙන්න ඕන. ආසන පනවන්න වෙන්නෙ එය පදනම් කර ගෙනයි.


ඔබ ඇතුළු පිරිසක් නිල ආණ්ඩුව විදියට පෙනී සිටින විට රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් ඇමැති ලෙස නිවේදන නිකුත් කරනවා? ඇයි ඒ ගැන පියවර නොගන්නෙ?
එවැනි නිල නොවන නිවේදනයකට වටිනාකමක් දෙන්න අපට අවශ්‍ය නැහැ. රජයේ සේවකයන් පිළිගන්නෙ ජනාධිපතිගෙ නියෝග. පාර්ලිමේන්තුව පවා ඒක පිළිගෙන තිබෙනවා.


ජාතික ආණ්ඩුව ක්‍රියාවට නංවා තිබූ ගම්පෙරළිය ආදී විවිධ වැඩසටහන් නතර කරනවාද?
මහින්ද සමරසිංහ මහතා,
ඒ සමහර ව්‍යාපෘතිවල විවිධ අඩුපාඩු තිබුණා. ඒවා කැබිනට් මණ්ලය තුළින් සාකච්ඡා කොට තිබෙනවා. උපාධිධාරී වැඩපිළිවෙළ වුණත් දේශපාලනය ගාව නොගෙන කරන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නෙ. දේශපාලනය ගාවගෙන ඒ අයට විශාල අගෞරවයක් අපි කරන්නෙ. දුක් විඳලා උපාධියක් අරගත් ඒ අයට රැකියා දෙනවා නම් ඒක දේශපාලනයෙන් තොරව කළ යුතුයි. ගම්පෙරළිය වුණත් සමහර තැන්වල ක්‍රියාත්මක කොට තිබෙනවා. ඉතිරි ප්‍රදේශවලත් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ව්‍යවසායකයන්ට ණය දීමේදීත් ගැටලු ගණනාවක් තිබුණා. ඒවා දේශපාලනීකරණයට ලක් කරන්න අපට ඉඩදෙන්න බැහැ. තමන්ගේ ශක්තිය අනුව ඒ අයට මුදල් ලබාගන්න දේශපාලන බලපෑම්වලින් තොරව ඒ අයට අවස්ථාව දිය යුතුයි.


කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක අවුරුදු 72ක ඉතිහාසය ගැන ආඩම්බර වන එජාපය ලබා ගත්තෙ 31% ඡන්ද ප්‍රතිශතයක් පමණයි. එම කඩා වැටිච්ච පදනම විද්‍යාත්මකව අධ්‍යයනය නොකොට කඩා වැටිච්ච පදනම රැකගන්න අන්‍යාකාරයකින් ක්‍රියාත්මක වීමක් ලෙසයි එජාපයේ එම වැඩපිළිවෙළ මම දකින්නෙ.


ජනාධිපතිතුමා සඳහන් කළා පසුගිය ආණ්ඩුව තීරණ ගත්තෙ අගමැති ඇතුළු සමනල රෑනක් කියලා? කවුද ඒ සමනලයො?
මහින්ද සමරසිංහ මහතා,
ජනාධිපතිතුමා කළ එම ප්‍රකාශය ලිංගික ජන කොටසක් ඉලක්ක කරගත් දෙයක් නොවෙයි. ඒ ප්‍රකාශයට සමහරු විවිධ අර්ථකථන දුන්නත් ජනපතිතුමා ලිංගික ජනකොටසක් පිළිබඳ අදහස් කළේ නැහැ. උදාහරණයක් ලෙස රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවක් තියමින් තමන් සමනලයකු බව හඳුන්වාගෙන තිබෙනවා. විජය කුමාරතුංග ඝාතනය වූ අවස්ථාවෙ සරත් අමුණුගම ලිව්වා සමනලයකුට වෙඩි තියලා කියලා. ඒ වගේ විවිධ අර්ථකථන තිබෙනවා. ජනාධිපතිතුමා අදහස් කළේ හිටපු අගමැති වටා සිටි පිරිසක් විවිධ ඇඟිලි ගසමින් වැඩසටහන් අවුල් කළා කියලයි.


සාමාන්‍යයෙන් ජනවහරේ සමනලයන් කියන්නෙ සමලිංගිකයන් කියන අදහස?
ඔබට එහෙම අර්ථකථන දෙන්න පුළුවන් ඇති. ඒත් ජනාධිපතිතුමා එහෙම දෙයක් අදහස් නොකළ බවයි මම කියන්නෙ.


රුපියල අවප්‍රමාණවීම කළමනාකරණය කරගන්න නව ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේද?
මුදල් ඇමැති යටතෙනෙ මහ බැංකුව තිබෙන්නේ. එතුමා ඒ ගැන පියවර ගන්නවා.


පසුගිය ආණ්ඩුවේ කැබිනට් තීන්දු තීරණ ගැන අද තිබෙන්නේ කුමන අදහසක්ද?
කැබිනට් මණ්ඩලයේ දී තීන්දුවක් ගත්තා නම් ඊට සාමූහික වගකීමක් අපට තිබෙනවා. අපි ඒකෙන් ඉවත් වෙන්නෙ නැහැ.


පෙර පැවැති ආණ්ඩුව පිළිගන්නා බවට කථානායකවරයා නිවේදනය කරනවා. එවැනි අවස්ථාවක නව ආණ්ඩුව ගන්නා තීන්දු කෙතරම් නීත්‍යනුකූලද?
අපි කථානායකතුමාට කියනවා දේශපාලන කෝණවලින් බලන්නෙ නැතිව දේශපාලනයට යටත් නොවී, පක්ෂග්‍රාහී නොවී ව්‍යවස්ථාවට ගරු කරලා පාර්ලිමේන්තුව ආරම්භ කරන්න අවස්ථාව දෙන්න කියලා. ජනාධිපතිතුමා තීරණ අරගෙන තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා නම් නව අගමැතිවරයා පත් කිරීම නීත්‍යනුකූල නැහැ කියලා ඔහුටත් ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් පවා ප්‍රකාශ කර තිබෙනවා ගැසට් පත්‍රය අනුව කටයුතු කරනවා කියලා. ඒත් ඉතිං කථානායකතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්.


සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කියනවා ඔෟෂධ ගන්න මුදල් නැහැ කියලා?
කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ලේකම්ට පුළුවන් මුදල් යොදවන්න.


වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එකඟතාවෙන්ද ආරුමුගම් තොණ්ඩමාන් සහ වඩිවෙල් සුරේෂ් ආණ්ඩුවට එකතු වුණේ?
අගමැතිතුමා ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඉන් පසුව මුදල් අමාත්‍යාංශ ලේකම්ට කතා කොට කර්මාන්තයත් රැකෙන විධියට විසඳුමක් ගන්න භාර කළා.


ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමේදී ආණ්ඩුවේ න්‍යාය පත්‍රය කුමක්ද?
සම්ප්‍රදායානුකූලව, ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව කටයුතු කරනවා. වැඩි විස්තර අවශ්‍ය නැහැ.
මහින්ද සමරසිංහ මහතා,
අපි අලුතින් සභානායක කෙනකුත් පත් කර සිටිනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකත් පත් කරනවා.


කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිවුරුම් දී තිබෙන්නේ රාජ්‍ය ඇමැතිවරයකු විධියටයි. කොහොමද කැබිනට් ප්‍රකාශක තනතුරේ වැඩ කරන්නේ?
ඒක කැබිනට් මණ්ඩලයේ තීරණයක්, මෙහි අමාත්‍ය ධුරය ජනාධිපතිතුමා යටතේ පවතිනවා. ඒ නිසා පූර්ණ ලෙස කටයුතු කරන්න කෙහෙළිය ඇමැතිතුමාට බාධාවක් නැහැ.


සෞඛ්‍ය ඇමැති ධුරය රාජිත සේනාරත්න මහතාට දීමේ සූදානමක් තිබෙන බව ආරංචියි?
එහෙම එකක් නැහැ.


නව අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් 14 ඉදිරිපත් කළ හැකිද?
ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළාට පසුව සභානායකතුමා පාර්ලිමේන්තුව කල් දමන ලෙස කියනවා. විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ යුතුයි.


මනුෂ නානායක්කාර ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන මොකද හිතන්නේ?
කෙහෙළිය රඹුක්වැල්ල,
ඒ ගැන අදහසක් නැහැ.


ඒත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකලා ඉවත් වුණු බවයි ඔහු කියන්නෙ?
එතුමා නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙන විට ඕවා දැන සිටියේ නැද්ද? ඒත් මේ රටේ ජනතාව දන්නවා මොකක්ද සිදු වෙන්නෙ කියලා.


එස්.බී. දිසානායක සමඟ සිදුවූ සාකච්ඡාවක් පිළිබඳ හඬපට පාලිත රංගේ බණ්ඩාර අනාවරණය කරනවා? ඒක අල්ලස් සිදුවීමක් නොවේද?
මහින්ද සමරසිංහ මහතා,
එහෙම දෙයක් තියෙනවා නම් එතුමාට පුළුවන් පොලිසියට පැමිණිලි කරන්න.


ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට තිබෙන්නේ ප්‍රසාදයක්ද?
බි්‍රතාන්‍යයේ නෙස්බි සාමිවරයාත් මධ්‍යස්ථ ප්‍රකාශයක් කළා. ව්‍යවස්ථාව අනුව මේ රටේ කටයුතු වන බව එතුමා ප්‍රකාශ කළා. මේ රටේ සිටින තානාපතිවරුන් ඒක ප්‍රකාශ කළා.


ඔබලා නීත්‍යනුකූල ආණ්ඩුවක් නම් පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරු අමාත්‍යාංශ තුළට කොහොමද යන්නෙ?
කවුද දන්නෙ? කඩා පනිනවාද කියලා?
මොනවාද අතුරු සම්මත ගිණුමෙන් දීමට කල්පනා කරන සහන?
මුදල් ඇමැතිතුමා ඒක කියාවි. දැනටමත් සහන කීපයක් දී තිබෙනවා. මුදල් ලබා ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුයි.
දෙනගම ධම්මික රණවීර, නිසංසලා අබේගුණසේකර,
ඡායාරූප - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon