අද සිට වැස්ස අඩුවෙයි

  👤  2413 readers have read this article !
By mawbima 2018-11-08

ඉෂාරා සිල්වා
යටවත්ත - මහේෂ් රුවන්

 

පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (8දා) සිට අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පැවැති අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවැතීම ඊට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර පසුගිය 5 වැනිදා සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය, දැදුරු ඔය, රාජාංගණය, නාච්චාදුව, නුවරවැව, තබ්බෝව, අංගමුව සහ මහකනදරාව ජලාශවල වාන් ‍ෙදාරටු තවමත් විවෘතව පවතී.


එමෙන්ම දඹුළු ඔය සහ කලා වැවේ වාන් ‍ෙදාරටු දෙක බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය.
රාජාගංණය ජලාශයේ වාන් ‍ෙදාරටු විවෘත කිරීමත් සමඟ ඉන් මුදාහැරෙන ජලය කලා ඔයට පැමිණීම හේතුවෙන් පුත්තලම, මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් යටවී තිබේ.


එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ යාන් ඔය හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාන් මට්ටමට පැමිණ ඇති බැවින් ඒ අවට ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, නුවරඑළිය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ජනතාවට වැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ එම දිස්ත්‍රික්කවල පුද්ගලයන් 2,559ක් පීඩාවට පත්ව සිටින බවයි.


කණ්ඩලම වැව වාන් දැමීම හේතුවෙන් දඹුල්ල සිට වෑවල දක්වා ධාවනය වන මාර්ගයේ ගමනාගමනයට සුළු වශයෙන් බාධා එල්ල වී තිබේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ කණ්ඩලම ජලාශයෙන් පිටවන ජලය මිරිස්ගෝනිය ඔය හරහා කලා වැවට ලැබෙන බවයි.


මේ වන විට කලා වැවේ ජලධාරිතාව අක්කර අඩි 93,000 ඉක්මවා ඇති බවත් ඔවුන් දැනුම් දෙයි. අවශ්‍ය වුවහොත් වාන් ‍ෙදාරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලා ඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


මේ අතර අධික වැසි හේතුවෙන් පොළොන්නරුව - මඩකළපුව දුම්රිය මාර්ගය පූනානි ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා තවදුරටත් සීමා කර තිබේ.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පස්වරුවේ පවතින සුළු වර්ෂාපතනයත් සමඟ ඝන මීදුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටින්නේ වර්ෂාව සමඟ ඇති විය හැකි නායයෑම් තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.


මේ අතර ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් නිවේදනය ඉදිරි පැය 24 සඳහාද ක්‍රියාත්මක වේ.
අධික වැසි තත්ත්වය හේතුවෙන් බෝවතැන්න ජලාශයේ උමං පිටවුමේ ‍ෙදාරටු විවෘත කිරීමත් සමඟ අඹන් ගඟ පිටාර ගැලීම ආරම්භ වූ බව ජලාශයේ තාක්ෂණික ඉන්ජිනේරු එම්.එච්.එන්.ආර්. බණ්ඩාර මහතා පැවැසීය.


ඔහු වැඩිදුරටත් පැවසුවේ බෝවතැන්න ජලාශයෙන් ඊයේ (07දා) උදෑසන සිට තප්පරයට ගන අඩි 2000ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදාහැරි බවයි.
නාඋල - අඹන ප්‍රදේශයෙන් අඹන් ගඟ හරහා පාලම මේ වන විට ජලයෙන් යටවීම හේතුවෙන් ගම්මාන තුනක ජනතාවට ගමනාගමන පහසුකම් ඇහිරී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය සඳහන් කළාය. මේ අතර අඹන් ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාඋල අධ්‍යාපන කලාපයට අයත් මොරගොල්ල, ඕපල්ගල හා නාලිය කනත්ත විද්‍යාල වසා දැමීමට පියවර ගත් බව එම පාසල්හි විදුහල්පතිවරු කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon