යුද හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය එක්වී ගංවතුරට අසුවූ ගොවි පිරිසක් මුදාගැනෙති

  👤  2382 readers have read this article !
By mawbima 2018-11-08

මනම්පිටිය - නිමල් ජයරත්න


වැලිකන්ද රුවන්පිටිය කුඩාඔය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී ගසක් උඩ රැඳී සිටි ගොවියන් දස දෙනකු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය එක්ව ඊයේ පෙරවරුවේ මුදාගත් බව වැලිකන්ද පොලිසිය කියයි. වී ගොවිතැන වල් අලින්ගෙන් බේරා ගැනීමට ගොස් සිටි වී ගොවීන් පිරිසක් මෙලෙස ගංවතුරට කොටුවී සිටියදී මුදාගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවැසීය.

මෙලෙස මුදාගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ අවුරුදු 40ත් 55ත් අතර පසුවන මුස්ලිම් ජාතික වී ගොවීන් පිරිසකි. මීට දින කිහිපයකට පෙර එම ගොවි පිරිස තම වී වගාව වල් අලින්ගෙන් බේරා ගැනීමට ගොස් ඇති බව පරීක්‍ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි. මාදුරුඔය සහ කුඩාඔය පිටාර ගැලීම නිසාත් ප්‍රදේශයට දින කිහිපයක සිට ඇදහැලෙන වර්ෂාව නිසාත් මේ ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව වැලිකන්ද ආපදා කළමනාකරණ ඒකකය කියයි. ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ වී ගොවීන් පැල්වල සිට ගස්වලට නැඟ දිවි බේරාගෙන තිබේ.


රිදීපොකුණ සිවිල් ආරක්‍ෂක බළකාය, වැලිකන්ද යුද හමුදාව, වැලිකන්ද ආපදා කළමනාකරණ ඒකකය සහ ගම්වාසීන් එක්ව පැය 04ක පමණ මෙහෙයුමකින් පසු මේ ගොවීන් පිරිස මුදාගෙන ඇත.
පෙරේදා රාත්‍රියේ සිට එම පිරිස ගස් උඩ රැඳී සිටි ඇති බවද මෙහෙයුමට එක්වූ සිවිල් ආරක්ෂකයෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon