කටුනායක ගුවන්තොටුපළේ ඊයේ වරින් වර විදුලිය විසන්ධි වෙයි

  👤  2403 readers have read this article !
By mawbima 2018-11-08

කටුනායක _ ගයා තිරිමාදුර


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (07දා) දහවල් 11.30ට පමණ හදිසියේම විදුලිය සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන්තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි කිරීම දුෂ්කර තත්ත්වයකට පත්විය.


මේ සමඟම ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර පද්ධතිය පණ ගැන්වීම සිදු නොවූ අතර පසුව එම යන්ත්‍ර ක්‍රියාත්මක විය.


එහෙත් මෙම විදුලි ජනක යන්ත්‍ර මඟින් සැපයෙන විදුලි බලයෙන් ගුවන්තොටුපොළ තුළ ආලෝකය සැපයීම සහ වායු සමීකරණ යන්ත්‍ර පමණක් ක්‍රියාත්මක කිරීම සිදු වූ බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවැසීය.

එහෙත් ගුවන්තොටුපොළ ආගමන _ විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ද මේ නිසා අක්‍රියව ගොස් තිබුණද එම නිලධාරීන් එම රාජකාරි කටයුතු අතින් සිදු කරමින්, ඇති විය හැකි ගුවන් ගමන් ප්‍රමාදය වළක්වාලීමට පියවර ගෙන තිබිණි.


මේ අතරතුර වරින් වර විදුලිය පැමිණ යළි විසන්ධි වූ අතර දහවල් 12.45ට පමණ විදුලිය ස්ථාවර ලෙස ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත විය. ඒ වනවිට පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදුලිය විසන්ධි වී පැවැතිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon