ගෝඨාභයයි බිරියයි ගිය වාහනය අනතුරක

  👤  2688 readers have read this article !
By mawbima 2018-11-08

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය අනෝමා රාජපක්ෂ මහත්මිය ගමන් කළ මෝටර් රථය ඊයේ උදෑසන 6.30ට පමණ හක්මණ දෙනගම මැදගම පන්සල අසලදී අනතුරට ලක්විය.

මාතර හරහා වීරකැටිය මැදමුලන සිය නිවෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. දෙනගම දෙසින් පැමිණි අත්ට්‍රැක්ටරයක් එක්වර මාර්ගය මැදට හැරී ධාවනය කිරීම නිසා මාතර දෙසින් පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ගමන්ගත් මෝටර් රථය එම ට්‍රැක්ටරයේ වැදී අසල බෑවුමේ පිහිටි ගසක වැදී තිබේ. ට්‍රැක්ටර් රථය බේරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ රියැදුරු එම මෝටර් රථය පාලනය කිරීමට යෑමේදී කොට්ටම්බ ගසේ වැදී තිබේ. මේ හේතුවෙන් ට්‍රැක්ටර් රථය පැදවූ වේපතඉර පදිංචි පුද්ගලයකු සුළු තුවාල ලබා වලස්මුල්ල රෝහලට රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති. ට්‍රැක්ටර් රථයේ සිදුවූ යාන්ත්‍රික දෝෂයක් නිසා රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය මැදට ආ බව පැවසේ.

වීරකැටිය මැදමුලන ඒ මහතාගේ මහ ගෙදර පැවැත්වෙන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණඅනුස්මරණ පින්කමට සහභාගිවීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. පසුව වෙනත් වාහනයක් ගෙන්වා ගෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා, බිරිය ඇතුළු පිරිස මැදමුලන නිවෙසට ගොස් තිබේ. හක්මණ පොලිසිය මඟින් අනතුරට පත් වාහනය සහ ට්‍රැක්ටරය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර සුළු තුවාල ලැබූ ට්‍රැක්ටරයේ රියැදුරු ඊයේ (07දා) රෝහලෙන් ප්‍රතිකාර ගෙන පිටවී ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. හක්මණ පොලිස් ස්ථානාධිපති නලීන් වීරවර්ධන මහතාගේ උපදෙස් මත හක්මණ පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon