කැනඩාවේ රැකියා දෙන බව පවසා ජනතාව මුළා කර කෝටි ගණනක් වංචා කළ චීවරධාරියා රිමාන්ඩ් සැකකරුට මුදල් වංචා නඩු 41ක්

  👤  2796 readers have read this article !
By mawbima 2018-11-07

බළපිටිය - දම්සරී ලියනගේ

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැඳී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද චීවරධාරියා නොවැම්බර් මස 13 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පෙරේදා (05දා) නියෝග කළේය.


සැකකරුගේ අත්අකුරු සම්බන්ධයෙන් වූ රස පරීක්ෂණ වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අහුන්ගල්ල පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි වන්නිනායක හේරත් මුදියන්සේලාගේ ගාමිණී වන්නිනායක (55) හෙවත් මහාචාර්ය ගල්කුලමේ සෝරත නමැති අයයි.
සැකකරුට අදාළව මුදල් වංචා සම්බන්ධයෙන් නඩු 41ක් අහුන්ගල්ල පොලිසිය මඟින් පවරා ඇති අතර එයින් නඩු 22ක් මෙදින කැඳවීමට නියමිත බවත් ඉතිරි නඩු 19 නොවැම්බර් 19 දින කැඳවන බවත් අහුන්ගල්ල පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මුදල් රුපියල් එක් කෝටි අට ලක්ෂ විසි දහසක් (108,20,000) රුපියල් දෙලක්ෂ හැට පන් දහසක් (2,65,000) වටිනා රන් භාණ්ඩ, රුපියල් ලක්ෂ 70ක් (7,000,000) වටිනා ජීප් රථයක්, රුපියල් පහළොස් දහසක් (15,000)ක් වටිනා අත් ඔරලෝසුවක්, ටැබ් පරිගණකයක් සහ ජංගම දුරකථන කිහිපයක්ද අහුන්ගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් වංචා කරන ලද පුද්ගලයන්ගෙන් අහුන්ගල්ල පොලිසියට ලැබුණු පැමිණිලි 41ක් මත ක්‍රියාත්මක වූ අහුන්ගල්ල පොලිසිය සැකකරුගේ දුරකථන සංවාද පරීක්ෂා කරමින් හා ලැබුණු තොරතුරු මත හලාවත මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟවී සිටියදී අහුන්ගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගත වීම සඳහා ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට සැකකරු උත්සාහ කර තිබෙන බවත් එය අසාර්ථක වූ තැන හලාවත, මාරවිල හෝටලයට පැමිණ නවාතැන් ගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මීට මාස තුනහමාරකට පමණ පෙර මේ පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අහුන්ගල්ල, ගල්වෙහෙර මළුවවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩි සිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂ්ම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිස් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලිසිය කියයි.

අහුන්ගල්, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල පුද්ගලයන් එකසිය පනස් දෙනකු මුළා කරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට අධික මුදලක් සැකකරු මෙසේ වංචා කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

කලක් මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ දානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත. කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමිනම සොයාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මඟිනි.

අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමිනමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පතක පළ කිරීමෙන් පසු මෙම හිමිනම මීට මාස පහකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කළ බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලිසියට ප්‍රකාශ කර තිබේ. ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම චීවරධාරියා මුදල් වංචා කිරීමෙන් පසු අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලිසිය කියයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් පෙරේරා (11478) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon