අධ්‍යාපන සමුපකාර රැක ගැනීමේ ගුරු පෙරමුණ නඟන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා -ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ

  👤  2736 readers have read this article !
By mawbima 2018-11-07

අධ්‍යාපන සමුපකාර මූල්‍ය වංචාවට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවට අධ්‍යාපන සමුපකාර රැකගැනීමේ ගුරු පෙරමුණ විසින් එල්ල කළ චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ඒ සම්බන්ධයෙන් පසුගියදා (22දා) "මව්බිම" පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය උපුටා දක්වමින් මහින්ද ජයසිංහ සඳහන් කරන්නේ අධ්‍යාපන සමුපකාර රැක ගැනීමේ ගුරු පෙරමුණ නමින් සංවිධානයක් පිළිබඳ මීට පෙර තමා අසා නොමැති බවයි.

එම සංවිධානයේ කැඳවුම්කරු වන රොෂාන් ප්‍රියන්ත (රෝෂන් ප්‍රියශාන්ත) නමැත්තා විසින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා සිදු කළා යැයි කියනු ලබන මූල්‍ය චෝදනා සියල්ල දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්‍ෂේප කරන බව ද ඔහු අවධාරණය කරයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස වසර 17කට ආසන්න කාලයක්ද ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස වසර 05කට ආසන්න කාලයක් කටයුතු කළ තමාට එවැනි වංචා සිදු කළේ නම් එම තනතුරු කිසිවක් දැරීමට ඉඩක් නොලැබෙන බවද තවදුරටත් සඳහන් කළේය.

තමාට චෝදනා කරන රොෂාන් ප්‍රියශාන්ත අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය විසින් මූල්‍ය චෝදනා කොට පන්නා දැමූවකු බවත් එමෙන්ම වංචනික ලෙස සිය ස්ථාන මාරුව දැරණියගල සිට කොළඹ ආනන්ද විද්‍යාලයට ලබා ගත් අයෙක් බවටත් චෝදනා කරමින් මහින්ද ජයසිංහ පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයෙක් අධ්‍යාපන සමුපකාරය රැක ගැනීමට උත්සාහ කිරීම නරියාට කුකුල්ලු භාරදීමට නොදෙවැනි බවයි.

මේ චෝදනාව නිසා තමාගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon