ඩී. එම් නැති අඩුව පිරවූ ගිරුවායේ ඩී. ඒ

  👤  2771 readers have read this article !
By mawbima 2018-11-07

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ 22 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඉකුත් 26 වැනිදාය. තිස් වසරක් අඛණ්ඩව පැවැතුණු රුදුරු ත්‍රස්තවාදය නිමාකර සමස්ත ජාතියටම නිදහස ගෙනදුන් එතුමන්ගේ අභීත නායකත්වයේ ප්‍රතිභාව තවදුරටත් ආලෝකවත් කරමිනි.

එතුමන්ගේත්, චමල්, බැසිල්, ගෝඨාභය සොහොයුරන්ගේත් දේශපාලන සම්ප්‍රාප්තියට මං පෙත් විවර කළ ඔවුන්ගේ ආදරණීය පියාණන් වූ දිවංගත ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ 51 වැනි ගුණ සැමරුම ඊයේ (06) යෙදී තිබිණි.


රාජපක්‍ෂවරුන්ගේ අධිරාජ්‍ය විරෝධී සමාජ මෙහෙවර ආරම්භ වන්නේ 1818 කැරැල්ල සමඟය. ඒ ඓතිහාසික නිදහස් අරගලයට නායකත්වය දුන් ජාතික වීරවරයන් අතර වනිග චින්තාමනී මොහොට්ටි රාජපක්‍ෂ නම් ප්‍රාදේශීය නායකයකු ලෙස පැල්මඬුල්ලේ සිට උෟව වෙල්ලස්ස සටනටත්, ඉන් පසුව උපක්‍රමිකව පසුබසින චින්තාමනී මොහොට්ටි රාජපක්‍ෂ සබරගමුව ගොඩකවෙල සිද්ධ විද්ද වලව්වටත්, එතැනින් සතුරා උපක්‍රමික ලෙස මඟහරිමින් පසුව හක්මන දෙනගමටත්, එතැනින් කරතොටටත් කරතොටින් කැඹිලියපොළ හරහා බුද්ධියගමටත්, එතැනින් කොන්දගල හා මැදමුලන ප්‍රදේශ තම වාසභූමිය කරගෙන සුදු ආණ්ඩු පාලකයන්ට එරෙහිව සටන් කළේය.

1936දී මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ප්‍රථම වතාවට ජනතාව විසින් තෝරා පත්කළ ‍ෙදාන් මැතිව් රාජපක්‍ෂ මධ්‍යතන රාජපක්‍ෂ දේශපාලනයේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වා දිය යුත්තේ මහත්වූ භක්තියකිනි. අධිරාජ්‍ය විරෝධී සටනට පිළිපන් රුහුණේ සිංහයා ලෙස විරුදාවලිය ලත් ඩී.එම්. රාජපක්‍ෂ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වී 1945 මැයි 18 වැනිදා මෙලොවෙන් සමුගන්නා තෙක් දකුණේ සමාජ දේශපාලන ක්‍රියාවලියට දිවි පරදුවට තබා කටයුතු කළහ.

ඩී.එම්. ගේ අභාවයෙන් පසුව ඇති වූ රික්තය පිරවීම සඳහා රුහුණු ගිරුවායේ ජනතාවගේ එකම ඉල්ලීම වූයේ ඩී.එම්.ගේ සෙවණැල්ල මෙන් ඔහු අසල සිටි ඔහුගේ සහෝදරයා වන ඩී.ඒ. රාජපක්‍ෂ මහතාට දේශපාලනයට පැමිණෙන ලෙසයි. ගිරුවායේ ජනතාව කළ ඉල්ලීමට පිටුපෑමට නොහැකිවූ ඩී.ඒ. 1945 ජූලි මස 14 වැනිදා ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නිතරගයෙන් තේරී පත්විය.

1945 අගෝස්තු 8 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන්ගත් ‍ෙදාන් ඇල්වින් රාජපක්‍ෂ නොහොත් ඩී.ඒ. රාජපක්‍ෂ එතැන් පටන් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක රජයේ කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවේ සාමාජිකයකු ලෙස 1947.07.01 වැනි දින දක්වා කටයුතු කළේය. 1947.10.14 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් තේරී පත්වූ එතුමා 1952.04.02 දින දක්වා රුහුණේ ජතාවට මාහැඟි සේවයක් කළේය. 1952.06.09 වන දින සිට 1956.02.18 වන දින දක්වා දෙවන පාර්ලිමේන්තුවේ බෙලිඅත්ත මන්ත්‍රිවරයා ලෙස ඩී.ඒ. රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

1956.04.21 වන දින සිට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩී.ඒ. රාජපක්ෂ මහතා 1956.06.25 සිට 1956.09.17 දක්වා නැවත ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළේය. (එවකට මෙම තනතුර නියෝජ්‍ය අමාත්‍ය ධුරයට සමානය) 1957.09.17 වන දින සිට කෘෂිකර්ම, ඉඩම් වැඩ බලන අමාත්‍ය ධුරයට පත් එතුමා ඔහුගේ සමාජ දේශපාලන මෙහෙවරේ කූටප්ප්‍රාප්තිය ලෙස හඳුන්වන නැඟෙනහිර ගිරුවාපත්තුවේ හේන් ගොවීන්ට ජලය ලබාදීමේ අරමුණින් 1957.10.07 වන දින ඇඹිලිපිටිය කිරලවැල්කටුවේදී රක්වාන් කඳුවැටියෙන් මහ මුහුදට ගලා ගිය මහා ජලකඳ හුලංදා ඔය හරස්කර චන්ද්‍රිකා වැව නමැති මහා ජලාශය ඉදිකිරීමට එවකට අගමැති බණ්ඩාරනායක මහතා සමඟ සහභාගි වෙමින් වලවේ ගඟ සංවර්ධන යෝජනාවලියේ පළමු අදියර ආරම්භ කිරීම ඩී.ඒ. දේශපාලනයේ දශක ගණනක අපේක්‍ෂා කළ සිහිනය සැබෑවීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

මෙම මුල්ගල් තැබීම සඳහා එවකට පාසල් සිසුවෙක් ලෙස සිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ දෙටු පුත් හිටපු කථානායකවරයකු වූ චමල් රාජපක්ෂ මහතාද සහභාගි වීම රාජපක්ෂ පවුලේ දේශපාලනයේ සමාජ මෙහෙවර මැනැවින් කියාපාන්නකි. 1959.09.25 සිට 1959.10.10 දක්වා කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.ඒ. රාජපක්ෂ මහතා පස්වන පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙස 1960.11.16 සිට 1964.02.11 දක්වා කටයුතු කළේය. 1964.02.11 සිට පාර්ලිමේන්තුවේ උත්තරීතර අසුන නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ධුරයට පත්වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා 1964.11.25 දක්වා රුහුණේ පෑගෙන, තැළෙන ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළේය. 1967 නොවැම්බර් 07 වන දින ජාතියෙන් සමුගත් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරුව සමරන මේ මොහොතේදී රාජපක්ෂ පවුලේ වර්තමාන පවුල් දේශපාලනය පිළිබඳව යමක් කිව යුතුව ඇත.

1936 සිට මේ දක්වා වසර 82ක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට නායකත්වය දුන් රුහුණේ රාජපක්ෂ පවුල ආසියාවේ සිටින එවන් සමාජ මෙහෙවරකට මෙතරම් කලක් දීර්ඝව කැපවූ එකම පවුල ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එම වසර 82ක කාලය තුළ ඩී.එම්. රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ. ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ දක්වා පරම්පරා තුනක සාමාජිකයන්ගේ සමාජ දේශපාලන ක්‍රියාවලියකින් රාජ්‍ය තන්ත්‍රය හොබවා ඇති අතර එම වසර 82ක රාජපක්ෂ දේශපාලනයේ ස්වර්ණමය යුගය වර්ෂ 2005 ආරම්භ වූ අතර රට තුළ වූ මහා මිනිස් සංහාරයට තිත තබමින් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන විට ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා විය.

ලෝකයේ බිහිසුණුම මිනීමරු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමඟ යුද බිමේදී වසර 20ක් සටන් වැදී පසුව ආරක්ෂක ලේකම් ධුරයට පත් සෙන්පති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රායෝගිකව යුද බිමට ගිය යුද සෙනෙවියෙක් ලෙස ඉතිහාසයට එක්වන අතර ඔහුගේ යුද සැලසුම් යුද්ධය නිමාකිරීමට සාර්ථක ලෙස පිටිවහලක් වූ බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පවා පිළිගන්නා සත්‍යයකි.

මෙවැනි බිහිසුණු යුද්ධයක් අවස්ථාවක රටේ ජනතාවට ආහාර අහේනියක් නොවන ලෙස රට සහලින් සහ වෙනත් ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමේ වගකීම භාරගත් රාජපක්ෂ පවුලේ අනෙක් සාමාජිකයා වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි.

යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී ඉන්දියානු සාධකය අතිශය උපක්‍රමික ලෙස යුද්ධයට බාධා ඇති නොවන ආකාරයට ඒකාත්මික කරගැනීමේ දේශපාලන සාකච්ඡාවට රාජ්‍ය තාන්ත්‍රික ලෙස මැදිහත්වෙමින් යුද සමයේදී වරින්වර ඉන්දියාවට යමින් යුද්ධය ජයග්‍රහණය සඳහා ඉන්දියාව අප සමඟ කුලුපගව තබාගැනීමේ මෙහෙයුම කිරීමට බැසිල් රාජපක්ෂ මහතා දැක්වූ දේශපාලනික රාජ්‍ය තාන්ත්‍රික භාවය මේ අවස්තාවේදී ප්‍රශස්ත ලෙස ඇගයීමට ලක් කළ යුතුය.

ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ 51 වැනි ගුණසමරුව සිහිගන්වමින් පවුල් දේශපාලනයේ රාජපක්ෂ භූමිකාව මැනවින් අධ්‍යයනය කිරීමෙන් පෙනීයන්නේ රාජපක්ෂවරු රටට ණයද? රට රාජපක්ෂවරුන්ට ණයද? යන්න අනාගතයේදී ජනතාව දෙන තීන්දුවෙන් පෙන්නුම් කරනු ඇත.

ගාමිණී සෝමචන්ද්‍ර රාසපුත්‍ර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon