දවස් 10ක් තුළ හලාවත රෝහලේ මාතෘ මරණයක් සහ ළදරු මරණ 3ක්

  👤  2876 readers have read this article !
By mawbima 2018-11-07

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

උපතේදී සිදු වූ ළදරු මරණ තුනක් හා මාතෘ මරණයක් වාර්තා වීමත් සමඟ හලාවත මහ රෝහලේ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ මරණ දින දහයක් තුළ වාර්තා වීම මීට හේතුවයි.
මේ තත්ත්වය හේතුවෙන් හලාවත මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන රෝගීන්ද බියට පත්ව ඇත.

ළදරුවන් තිදෙනකු හා මවක් දරු ප්‍රසූතියේදී මියයෑම අසාමාන්‍ය තත්ත්වයක් බව තමන් පිළිගන්නා බව මේ පිළිබඳ කළ විමසීමේදී හලාවත මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය එල්. පොද්දල්ගොඩ මහතා පැවැසීය. වෛද්‍ය පොද්දල්ගොඩ මහතා හලාවත මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්ව ගතව ඇත්තේ මාසයක පමණ කාලයකි.

පළමු සිදුවීම වී ඇත්තේ පසුගිය මාස 28 වැනි දිනයි. එහිදී මියගොස් ඇත්තේ රසිකා ජීවනි නමැති තිස්පස් හැවිරිදි මවකි. මේ සමඟ ඇයට ලැබුණු බිලිඳියද මියගොස් ඇත.
දෙවැනි සිදුවීම පසුගිය 4 වැනි දින සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ පහළ අත්තන්ගණේ නල්ලදරන්කට්ටුව පදිංචිකාරියක් වන ටානියා කල්හාරි (21) නමැත්තියට ලැබුණු බිලිඳියයි. තෙවැනි සිදුවීම පෙරේදා (5දා) පස්වරුවේ සිදුව තිබේ. මින් මියගෙස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ පෙරියන්ඩි වදනි (30) නමැත්තියට ලැබුණු බිලි¼දායි.

තම බිරිය හා දරුවා ඉතා නිරෝගීව සිටි බව මේ පිළිබඳව කළ විමසීමේදී දරු ප්‍රසූතියේදී මියගිය මවගේ සැමියා වන අරුණ ප්‍රියංග මහතා පැවැසීය.

"මුල ඉඳලම ‍ෙදාස්තරලා චැනල් කරලා පෙන්නුවා. කිසිම ලෙඩක් නැහැ කිව්වා. දෙවැනි දරුවා තමයි ලැබෙන්න හිටියේ. පසුගිය 24 වැනිදා රෝහලට ඇතුළත් කළා.

මගේ බිරිය ටිකට් එකේ ලියලා අස්සක් කළා සීසර් කරලා ළමයව ගන්න කියලා. මමත් කිව්වා. නමුත් සැලකුවේ නැහැ. මේ ගැන අපි ඉහළ පරිපාලනයටත් කිව්වා.

නමුත් වැඩක් වුණේ නැහැ. අන්තිමට සාමාන්‍ය පරිදි ළමයා ලැබුණ කියලා ඒ අය කියනවා. නමුත් දෙන්නම මැරුණා. දැන් ටිකට් එකේ තියෙනවලු බිරිය සීසර් එකට අකැමැතියි කියලා අස්සන් කළා කියලා. මම ඉල්ලන්නේ අත් අකුරු පරීක්ෂණයක් කරන්න කියලයි. ඒ වගේම මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා."

ටානියා කල්හාරි මහත්මියට ලැබුණු බිලිඳිය මිය යෑමට හේතුව ලෙස මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මවගේ දියවැඩියා රෝගය උත්සන්න වීම හා සංකූලතාවක් මතුවීමයි.

තමන්ට එවැනි දියවැඩියා රෝගී තත්ත්වයක් නොතිබූ බව ටානියා කල්හාරි මහත්මිය පැවැසූ අතර ඇගේ මව කියා සිටියේ මේ මරණයට හලාවත රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බවයි.

පෙරියන්ඩි වදනි මහත්මියට ලැබුණු දරුවා මියගිය ආකාරය සොයා නැත. මවුපියන්ගේ ඉල්ලීම පරිදි ඊයේ (6දා) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා මේ බිලි¼දා හලාවත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණි. මෙලෙස සිදුකිරීම සඳහා ඇති හැකියාව පිළිබඳවද සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි. එයට ප්‍රධාන හේතුව වන්නේ හලාවත මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් තම රෝහලේ සිදු වූ මාතෘ හා ළමා මරණවල අසාමාන්‍ය තත්ත්වයක් තිබෙන බව මේ වන විට පිළිගෙන තිබීමයි. මීට අමතරව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවැසුවේ විසබීජ පැතිර යෑමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

මේ පිළිබඳව වාර්තා කිරීම සඳහා හලාවත රෝහලට ගිය අවස්ථාවේදී වැඩ බලන රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලට ඇතුළු වී තොරතුරු ලබා ගැනීමට හා ඡායාරූප ගැනීමට අවසර ලබා දුන්නත් අදාළ වාට්ටු භාර නිලධාරීන් මේ සඳහා අවසර ලබා දුන්නේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon