'රෝ' එකට සම්බන්ධ ඇමැති 4දෙනා ගෙදර යවන්න - ඒකාබද්ධ විපක්ෂය

  👤  2335 readers have read this article !
By mawbima 2018-10-23

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවයට සම්බන්ධ කැබිනට් අමාත්‍යවරුන් සිවු දෙනකු සිටිනවා නම් වහාම එම කැබිනට් අමාත්‍යවරුන් සිවු දෙනා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු බවත් එම සිවුදෙනා ගැන තොරතුරු තවදුරටත් ප්‍රමාද නොකර ජනාධිපතිතුමාට හා රටේ ජනතාවට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයා වහාම ක්‍රියා කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේ 'රෝ' ඔත්තු සේවාව සමඟ සම්බන්ධ අමාත්‍යවරුන් සිවුදෙනා ජනාධිපතිතුමා විසින් ඉවත් නොකරනවානම් ඔවුන් සිවු දෙනා ඉවත් කිරීම සඳහා මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට වහාම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ නොකර මහින්ද අමරවීර අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා නම් කැබිනට් සාමූහිකත්වය කඩ කිරීමේ චෝදනාවට ඔහු කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවද රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

විදෙස් ඔත්තු සේවාවලට අදාළ ඔත්තුකරුවන් මෙම කැබිනට් මණ්ඩලයේ සිටින බව මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවත් 'රෝ' සංවිධානයේ ඔත්තුකරුවන් පමණක් නොව සී.අයි.ඒ. (CIA) සහ කේ.ජී.බී. (KGB) ඔත්තුකරුවන්ද මෙම අමාත්‍ය මණ්ඩලයේ සිටින බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

විදෙස් ඔත්තු සේවා සමඟ යම් කිසිවකු සම්බන්ධතා පවත්වනවා නම් එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් එවැනි පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමට යහපාලන ආණ්ඩුව පියවර ගනු ඇතැයි මේ රටේ පොදු මහජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon