පිස්තෝලයක් ළඟ තබාගෙන ඩුබායි යෑමට ආ ගුවන් නියමුවා නිදහස්

  👤  2423 readers have read this article !
By mawbima 2018-10-23

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

පිස්තෝලයක් සන්තකයේ තබාගෙන කටුනායක ගුවන් තොටුපළින් කෙන්යාව හරහා ඩුබායි බලා යෑමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ගුවන් නියමුවකු ඔහුට විරුද්ධව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය නඟා තිබූ චෝදනාවන්ට වරද පිළිගැනීමත් විත්තියේ ජේ‍යෂ්ඨ නීතිඥ නෙල්සන් පී. කුමාර නායක මහතා ඉදිරිපත් කළ නීතිමය කරුණුත් සලකා බලා ගුවන් නියමුවාට තරයේ අවවාද කර නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

මෙසේ නියෝග කරනු ලැබුවේ දැනට කෙන්යාවේ ගුවන් නියමුවකු ලෙස සේවය කරන රාජගිරිය පදිංචිකරුවකුටය.

ලංකාවේ ගුවන් නියමුවකු ලෙස වසර 13ක් පමණ සේවය කර වර්ෂ කීපයක් ගුවන් නියමුවකු ලෙස ජනාධිපති සම්මානද ලබාගෙන ඇත. ඔහු සන්තකයේ තිබූ මෙම පිස්තෝලය වර්ෂ 1907 නිෂ්පාදනය කළ වර්ෂ 100කට වඩා පැරැණි එකක් බවත් එය කෞතුක භාණ්ඩයක් ලෙස සන්තකයේ තබාගෙන සිටි බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ නෙල්සන් පී. කුමාරනායක මහතා ඉදිරිපත් කළ නීති තර්කය ආරක්ෂක අමාත්‍යාංශය මඟින්ද තහවුරු කර එවා තිබූ බැවින් එම චෝදනාවෙන් විත්තිකාර ගුවන් නියමුවා නිදහස් කෙරිණි.

විත්තිකාර ගුවන් නියමුවා රණවිරුවකු බවත් ඔහු පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ උතුරේ ක්‍රියාන්විත මෙහෙයුම්වල යෙදී සිටි අයකු බවත් වර්තමානයේ කෙන්යාවේ ගුවන් නියමු මධ්‍යස්ථාන 33ක අණදෙන ප්‍රධානියා බවත් ඔහුගේ අතපසු වීමෙන් සිදුවූ මෙම වරදට අධිකරණයෙන් සමාව අයදින බවත් ජේ‍යෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා තවදුරටත් පැවැසීය.

ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මීගමුව ප්‍රධානමහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විත්තිකරුට දැඩි ලෙස අවවාද කර නඩුවෙන් නිදහස් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ, උප පොලිස් පරීක්ෂක වසන්ත මුදන්නායක සහ පො.කො. ඩී.එම්.ජී. දිසානායක (38226) යන නිලධාරීහු පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් නීතිඥ නිලූෂා දිල්රුක්ෂි, ශෂිකා සමන්දපෙරුම, සකල ගුණතිලක සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ නෙල්සන් පී. කුමාර නායක මහතා පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon