සංඛ්‍යාලේඛන අනුව උතුරු-නැඟෙනහිර කියන තරම් පුරාවිද්‍යා විනාශයක් දක්නට නෑ

  👤  2362 readers have read this article !
By mawbima 2018-10-23

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

සංඛ්‍යාලේඛන අනුව ගත් කල උතුරු නැඟෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශ වීමක් දක්නට නොලැබෙන බවත්, වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශ වීමක් සිදුවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බැව් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ත්‍රිකුණාමලය, පුල්මුඩේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් ඉඩම් ගැටලුව හා සන්තානම්මඩු පුරාවිද්‍යා භුමියේ නටබුන්වලට හානි වන අයුරින් කුඹුරු කිරීම පිළිබඳව සොයා බැලීමට පැමිණි අමාත්‍යවරයා මේ බැව් අවධාරණය කළේය.

මීට අමතරව ලෝක උරුමයක් කිරීමට යෝජිත බුදුරදුන්ගේ කේශ ධාතු නිදන්ගත තපස්සු භල්ලුක වෙළෙඳ සොහොයුරන් ඉදිකළ යැයි කියන ගිරිහඬු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය,
"වැඩිම පුරාවිද්‍යා ස්ථාන හානිය අනුරාධපුරයෙන් වාර්තා වෙන කොට දෙවැනි තැන වෙන්නේ කුරුණෑගලයි. තුන්වැනි තැනට මහනුවර පත්වෙලා. උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන හානි වෙලා කියන්නේ දකුණේ ඉන්න දේශපාලකයන් හා උතුරේ ඉන්න දේශපාලකයන් විතරයි. මේ අය ඉදිරි මැතිවරණ බලාගෙන මෙවැනි ප්‍රකාශ කරනවා."

"දැනට තෝරාගත් පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයන් කරන්න සූදානම් කර තියෙනවා. පුල්මුඩේ අරිසිමලේ ඉඩම් ටික මාස දෙකක් වගේ කාලයක් තුළ මැනලා මායිම් දාලා වෙන් කරලා ඒ පුදබිමට ලබා දෙන්නත්, දැනට පදිංචි වෙලා ඉන්න අයට අසාධාරණයක් ඇති නොවන අයුරින් ඒ කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා" යැයිද පැවැසීය.

මෙම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂාන්ත ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම් ජී.ජී. රත්නසිරි හා ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍ය අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස යන මහත්වරුන්ද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon