පිළිමතලාවේ නව නිර්මාණකරුවකුගෙන් පරිසර හිතකාමී නව සොයා ගැනීමක්

  👤  2428 readers have read this article !
By mawbima 2018-10-23

මුල්ලේරියාව - ඉරෝෂණ මුදලිගේ

ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්ලාස්ටික් තර්ජනයක් වී ඒ සඳහා විකල්ප ආදේශක සෙවීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරමින් පවතින යුගයක 2012 වර්ෂයේ ජනාධිපති සම්මානලාභී නව නිර්මාණකරුවකු වන පිළිමතලාව ප්‍රදේශයෙහි පදිංචිකරුවකු වන ජානක බණ්ඩාර ගුරුසිංහ (46) මහතා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට නතුකර ගත හැකි පරිසර හිතකාමී නව නිර්මාණයක් සොයා ගැනීමට මේ වන විට සමත්ව තිබේ.

දේශීය අමුද්‍රව්‍ය සහ අප පාරම්පරික ඥානය භාවිත කරමින් අභියෝග රාශියකට මුහුණ දෙමින් ප්ලාස්ටික් බෝතලයට ආදේශයක් ලෙස පිරිසුදු ප්‍රමිතියෙන් යුත් මැටියෙන් සකස් කරන ලද පරිසර හිතකාමී සුවිශේෂී බෝතලයක් මේ වන විට ඔහු විසින් සිදුකළ දීර්ඝ පරීක්ෂණ ක්‍රියාවලියක අවසානයේදී සොයාගෙන ඇත. මේ වන විට ඔහුගේ එම නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය සඳහාද ඉල්ලුම් කර තිබෙන අතර එහෙත් අදාළ නිර්මාණය සඳහා තමන් අපේක්‍ෂා කළ දිරිගැන්වීම් කිසිදු රාජ්‍ය අංශයකින් මේ වන තෙක් තමන්ට නොලැබුණු බව ඔහු සඳහන් කරයි.

'පාසල් දරුවාගේ සිට වැඩිමහල්ලා දක්වා ඉතා දීර්ඝ කාලයක් පරිහරණය කිරීමට හැකි ජල බෝතලයක් මේ දක්වා කිසිදු ආයතනයකින් නිපදවා නෑ. ප්ලාස්ටික් බෝතලයක් කැඩී ගියොත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ එය පරිසරයට මුදාහැරීම හෝ පිලිස්සීමයි. ප්ලාස්ටික්
පිලිස්සීම මඟින් පරිසරයට ඉතා භයානක පිළිකා කාරක වායුව එකතු වෙනවා. ඒ වගේම ජලය රැඳුණු බෝතල්වල මදුරුවන්ද බෝවිය හැකියි. ඇලුමිනියම් බෝතල්ද දීර්ඝ කාලීනව භාවිතයට ගැනීම සුදුසු නෑ. මිනිසාට වැලඳෙන බොහෝ රෝගාබාධවලට හේතුව පිරිසුදු ජලය පානය නොකිරීම බව විද්‍යාත්මක පරීක්‍ෂණ මඟින්ද අද තහවුරු කර තිබෙනවා. මා සොයාගත් නව ජල මැටි බෝතලේ ජලය ගබඩා කිරීමෙන් ජලයෙහි පවතින මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය සංඝටක විනාශ නොවී තබා ගත හැකියි.

ප්ලාස්ටික් බෝතල්වල පවතින නොයෙකුත් රසායනික ද්‍රව්‍ය බෝතලය දීර්ඝ කාලීනව භාවිත කිරීම මඟින් මිනිස් ශරීරයට එක්වීමද වැළැක්විය නොහැකියි. ඉන් සිදු වන්නේ කල්යත්ම ස්නායු රෝග සහ වකුගඩු අක්‍රිය වීම වැනි තවත් රෝගාබාධ රැසකට මිනිසුන් ගොදුරු වීමයි. අතීතයේදී අපේ මුතුන් මිත්තන් ගුරුලේත්තු, මැටි කළ ජලය ගබඩා කිරීම සඳහා භාවිත කළා. ඒ නිසා ඔවුන්ගේ පරම ආයුෂ අවුරුදු 120ක් පමණ වුණා. වර්තමානය වන විට කාර්යබහුල ජීවන රටාව සහ අවම මිල ගැන සිතා බොහෝ දෙනා ප්ලාස්ටික් බෝතල් භාවිත කිරීමට නැඹුරු වුවත් ඉන් තම සෞඛ්‍යයට එල්ල වන බලපෑම පිළිබඳව අවබෝධයක් නෑ.

මා විසින් සොයාගත් නව මැටි බෝතලය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කර තිබෙන්නේ පිරිසුදු කරන ලද ඉහළ ප්‍රමිතියකින් ගුණාත්මක භාවයකින් යුත් පදම් කළ විශේෂිත මැටි වර්ගයක්. වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශ, වියළි කලාපීය ප්‍රදේශ මෙන්ම නාගරික ප්‍රදේශවල ජනතාවටද භාවිත කළ හැකි බිම පතිත වුවත් බිඳී නොයන පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ලෙස මා එම බෝතලය නිපදවා තිබෙනවා. යම් හෙයකින් මෙම බෝතලයක් හදිසියේම බිඳී ගියත් ඉන් පරිසරයට හානියක් නෑ.

විසිතුරු මල් පැළයක් සිටුවීමට වුවත් බිඳුණු කැබලි භාවිත කළ හැකියි. එය නැවත නැවතත් භාවිත කළ හැකි ලෙස නිපදවා තිබීම තමයි එහි ඇති සුවිශේෂත්වය. මැටි බෝතලය සකස් කිරීමට අප යොදා ගත්තේ විශේෂිත සකපෝරුවක්. නිමැවූ බෝතලය හොඳින් ජීවානුහරණයට ලක් කිරීමට ශක්තිමත් කිරීම සඳහාත් සෙල්සියස් අංශක 500 - 1000 අතර උෂ්ණත්වයකින් විශේෂිත උදුනක් ආධාරයෙන් පිලිස්සීමට ලක් කළා.

නටන උණු වතුර වත්කර බෝතලය හොඳින් සොලවා සෝදා පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව එය භාවිතයට ගත හැකියි. එම බෝතලය සඳහාම සුවිශේෂිත අමුද්‍රව්‍යයකින් නිමැවූ විශේෂිත මූඩිය නිසා බෝතලයේ උෂ්ණත්වය පාලනය කිරීම මෙන්ම එයට අලංකාරයක්ද එක්කර තිබෙනවා. ඕනෑම තත්ත්වයක පවතින පාන වර්ගයක් මෙම බෝතලයට දමා පානය කළා කියලා කිසිදු විසක් ශරීරගත වන්නේ නෑ. මෙම බෝතලය රෝගීන් සඳහාද ඉතාම සුවිශේෂිතයි.

පූර්ණ රාජ්‍ය මැදිහත් වීමක් ලැබෙනවා නම් නව නිෂ්පාදනය වියළි කලාප සහ වකුගඩු රෝගීන් බහුලව සිටින කලාපයන්ටත් ගැළපෙන ආකාරයට තවත් වැඩිදියුණු කළ හැකියි. ඒ වාගේම විදේශ රටවලටත් නව නිෂ්පාදනය අලෙවි කරවා විශාල විදේශ විනිමයක්ද අප රටට ලබාගත හැකියි. එම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන පදම් කළ හැකි පිරිසුදු මැටි බහුල ලෙස අප රටේ තිබෙනවා. මා හට අවශ්‍ය වන්නේ නව තාක්‍ෂණයෙන් වැඩිදියුණු කළ සකපෝරුව සකස් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, මැටි බෝතල් එකවර පිලිස්සීමට භාවිත කළ හැකි විශාල උදුනක් සහ මෙවලම් මිලදී ගැනීම සඳහා වැය වන මූල්‍ය අනුග්‍රහය පමණයි.

රාජ්‍ය ආයතනයක මැදිහත් වී ඒ සඳහා අවශ්‍ය සහාය මඟ පෙන්වීම සිදු කරනවා නම් පරිසර සංවර්ධන සංකල්පය ඔස්සේ ලොවම ගමන් කරන අවධියක අප රටේද බහුල ලෙස භාවිත වන ප්ලාස්ටික් අවම කිරීමට ලබාදෙන රුකුලක්' යැයි නව නිර්මාණකරුවකු වන ජනාධිපති සම්මානලාභී ජානක බණ්ඩාර ගුරුසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon