අස්ගිරි මහ නා හිමිගේ දෑතින් සම්මානයක් ලැබීමත් සංසාරගත කුසලයක්

  👤  2353 readers have read this article !
By mawbima 2018-10-23

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික හා සමාජීය වශයෙන් සිදුකළ මෙහෙවර හා ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නට යෙදුණු ඉමහත් වූ සේවයට උපහාර වශයෙන් "ශාසනමාමක ජනප්‍රසාදන" යන ගෞරව නාම සම්මානය පිරිනැමීම අස්ගිරි මහ විහාරීය මංගල උපෝසථාගාරයේදී ඉකුත්දා සිදුකෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ මහ නායක ආචාර්ය වරකාගොඩ ඤාණරතන මහ නායකහිමියන් ප්‍රධාන විංශත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පිරිනමන්නට යෙදුණු මේ ගෞරව නාම සම්මානය සහිත ශ්‍රී සන්නස් පත්‍රය අමාත්‍යතුමන් හට පිළිගැන්වූයේ අස්ගිරි පාර්ශ්වයේ

මහ නායක වරකාගොඩ ඤාණරතන මහ නායක හිමියන් විසිනි.

එහිදී අනුශාසනාවක් සිදුකළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි
අස්ගිරි පාර්ශ්වයෙන් ගිහි ප්‍රභූන් සඳහා ගරු සම්මාන තානාන්තර ලබාදීමේ දී බොහෝ සැලකිලිමත් වනවා. ඒ නිසාම උභය මහ විහාරවලින් ගෞරව නාම පිළිගන්වන්නේ බොහෝ කලාතුරකින්. විශේෂයෙන් දේශපාලනයේ නියැළී සිටින ප්‍රභූවරුන්ට ගරු නාම දේහ ප්‍රදානය කිරීම සිදුවන්නේ ඉතාම කලාතුරකින්. මීට පෙර වර්තමාන උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අස්ගිරි පාර්ශ්වයෙන් ගරු නාමයක් ප්‍රදානය කළා.

ඉන් පසු වසර ගණනාවක් මේ ගරු සම්මාන නාම දේහ ලබා දුන්නේ නැහැ. ගිහි ප්‍රභූවරුන් අතරින් දේශපාලනය කරන ප්‍රභූන්ට මෙම නාම දේහයන් ප්‍රදානය කිරීම බොහෝ විට ගැටලුසහගතයි. දේශපාලනය කරන ප්‍රභූවරුන් රට දැය සමය වෙනුවෙන් කරන සේවය සලකා මේ නාම දේහ ගරු සම්මානයන් ප්‍රදානය කළත් සමහර දේශපාලන ක්ෂේත්‍රයට ළැදියාවක් නැති වෙනත් පක්ෂවල බොහෝ පිරිස් මේ දෙස බොහෝ විවේචනාත්මක ලෙස බලා සිටිනවා. එමෙන්ම අනෙක් පක්ෂවලට කැමැත්තක් දක්වන ජනතාවත් මේ දෙස විවේචනාත්මකව බලනවා. නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කන්ද උඩරට ප්‍රභූවරයෙක් ලෙස කීර්තිනාමය ආරක්ෂා කරගෙන සිටින දේශපාලනඥයෙක්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙරට වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීමට එකල විදේශ කටයුතු භාර අමාත්‍යවරයාව සිටි ලක්ෂමන් කදිරගාමර් ඇමැතිවරයා සමඟ එක්ව නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කරමින් විශාල කාර්ය භාරයක් සිදුකළා.

අද ශාසනික, ආගමික, ජාතික වශයෙන් ඇතිවන ගැටලු පිළිබඳ විශේෂයෙන් රජයේ අවධානය යොමුවිය යුතු යුගයකයි අප පසුවන්නේ. ශාසනික වශයෙන් නොයෙක් ගැටලු සහ අර්බුද පවතින බව අතිගරු ජනාධිපතිතුමාට අප නිරන්තරයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මා දන්නා තරමින් මහ විහාර ඉතිහාසයේ ගිහි ප්‍රභූවරයකුට සම්මාන නාමයක් ප්‍රදානය කරන අවස්ථාවක ප්‍රථම වතාවටයි ජනාධිපතිවරයෙක් සහභාගි වන්නේ. ඒ අවස්ථාව ඉතිහාසගත වෙනවා.

පාලි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශ කිරීමට තව නොබෝ දිනකින් එතුමා කටයුතු කරන බව අපට දැනගන්නට ලැබුණා. බුද්ධ ධර්මය සහ බුද්ධ චරිතය විකෘති කරන නොයෙක් වැඩපිළිවෙළවල් මේ රටේ නොයෙක් ස්වරූපයෙන් ක්‍රියාත්මක වනවා. උතුරු නැඟෙනහිර ඇති පුරාවිද්‍යාත්මක ප්‍රදේශ විශේෂයෙන් බෞද්ධ නටබුන් ඇති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමට යෑමේදී නොයෙක් ගැටලු පැනනඟිනවා.

අද පුරා විද්‍යා නිලධාරීන්ට හෝ පුරාවිද්‍යා මහාචාර්යවරුන්ට හෝ ඒ පිළිබඳව ළැදිකමක් දක්වන කිසිවකුට හෝ මහ සංඝරත්නයටත් ඒ ප්‍රදේශවලට යෑමේදී නොයෙක් ආගමික ජාතික පිරිස් එයට විරුද්ධ වනවා. උතුරු නැඟෙනහිර විහාරස්ථාන යළි ගොඩනැඟීමට යෑමේදී නොයෙක් දුෂ්කරතා මතු වෙනවා. අප කොයි ආකාරයෙන් කතා කළත් මේ රට සිංහල බෞද්ධ රටක්.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත් රජයේ වගකීම් දරන අමාත්‍යවරයකු ලෙසත් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් සිදුකරන ඇපකැපවීමත් විහාර සංවර්ධනයට සහ බෞද්ධ අධ්‍යාපනයට සිදුකරන අනුග්‍රහය යන කරුණු කෙරෙහි අවධානය යොමුකර ගෞරවනාමයක් ලබාදෙන ලෙසට අපේ ප්‍රාදේශීය මහ සංඝයා වහන්සේගේ නිර්දේශ සහිත ආයාචනා පත්‍රයක් මහ නාහිමියන් ඇතුළු විංශත්වර්ගික කාරක සංඝ සභාව වෙත යොමුකර තිබුණා. එය සාකච්ඡාවට භාජන කළ කාරක සංඝ සභාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දීර්ඝ කාලයක් මහනුවර දිස්ත්‍රික්කයට ජාතික සහ ශාසනික වශයෙන් සිදුකළ සේවාව අගය කළ යුතු බවත් මල්වතු මහ විහාරයේ අනු නාහිමිවරුන් දෙනම ඇතුළු කාරක සංඝ සභික හිමිවරුන් මේ ස්ථානයට වැඩම කිරීම එම තීරණය අනුමත කිරීමක් ලෙසත් අපට සැලකිය හැකියි.

1818 නිදහස් සටනින් පීඩාවට පත් ජනතාවට සහ ඒ පරම්පාරාවන්වලට කන්ද උඩරට සිංහල ජනතාවට ඉඩකඩම් ලබාදීම සහ පහසුකම් සැපයීමට ඒ නිදහස් සටනට වසර 200ක් සපුරන මේ වසරේදී මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෙසත් අන්තවාදීන් විසින් සිදුකරන ඓතිහාසික පූජනීය සිද්ධස්ථාන විනාශ කිරීම වැළැක්වීමට හා බෞද්ධ ජනතාවට එරෙහිව සිදුකරන ක්‍රියාදාමයන් මැඬලීමටත් රාජ්‍ය මට්ටමින් දැනට වඩා වගකීමක් ඇතිව කටයුතු කිරීම තුළින් මේ ගෞරව නාමය වඩාත් අර්ථවත් වනු ඇතැයි යන විශ්වාසයේ පිහිටා මෙම ගෞරව නාමය ලබා දීමට අපේ සංඝ සභාව තීරණය කළා.

මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි නියංගොඩ විජිතසිරි මහ නාහිමි
බුදුන් වහන්සේ වදාළ සත්පුරුෂයන්ගේ විශේෂ ලක්ෂණ තුනක් වන ඉතා යහපත් අර්ථවත් සිතිවිලිවලින් කටයුතු කිරීම, යහපත් දෙයක් ලෝකයට සමාජයට ප්‍රජාවට ලබාදීම, යහපත් දෙයක්ම කියන්නේ කරන්නේද යන ලක්ෂණ තුනම ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ජීවිතයෙහි දක්නට ලැබෙනවා. මෙතුමා වෙහෙර විහාරස්ථාන එකසිය අසූගණනක පිවිසුම් මාර්ග සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය සිදුකළා. මල්වතු-අස්ගිරි විහාරස්ථානවල පිරිවෙන් පුස්තකාල සඳහා පොත්පත් සහ අනෙකුත් පහසුකම් ලබා දී තිබෙනවා. ස්වාමීන් වහන්සේට ඒ ඒ විහාරස්ථාන ස්වාධීන ලෙස පාලනය කළ යුතු ආකාරයෙන් පහසුකම් ලබාදීමත් නීතිරීතිවලින් ඒවා බැඳ තබා ගන්නවාට වඩා ශාසනික සම්ප්‍රදායන් වඩාත් නිදහස්ව පැවතිය යුතුයි කියන මතය දරන අමාත්‍යවරයෙක්.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
අදටත් රටේ ජාතික, ආගමික, සමාජයීය ප්‍රශ්නයකදී අස්ගිරි පාර්ශ්වයේ මතය කුමක්ද යන්න දැන ගැනීමට මේ රටේ ජනතාව මහත් උනන්දුවෙන් සහ විමසිල්ලෙන් පසුවෙනවා. අස්ගිරි පාර්ශ්වය කිසිදු අවස්ථාවක කුමන බලපෑම ආවත් මාතෘභූමිය සම්බන්ධයෙන් තමන්ගේ දැක්ම වෙනස් කළේ නැහැ.

කිසි දිනක තමන්ගේ දෑත් කිලිටි කර නොගත් බුද්ධ ශාසනයේත් ජාතියේත් නොකිලිටි බව ඇති කරන්න නායකත්වය දුන් අස්ගිරි මහ නාහිමියන් වහන්සේගේ පින්බර දෑතින් ගෞරව සම්මානයක් ලබන්නත් මහ සංසාරගත කුසලයක් තිබිය යුතුයි.

දළදා වහන්සේ වැඩ සිටින දළදා කරඬුවේ යතුර හිමි මහ නාහිමියන්ගේ දෑතින් මේ සම්මානය ලැබීමත් මහා පුණ්‍ය කර්මයක්.

මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියන්, අස්ගිරි අනු නාහිමි වෙඬරුවේ උපාලි නාහිමියන්, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර හිමියන්, බලගොල්ල විහාරාධිපති තල්පොත ධම්මජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නයත්, දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු සිවු දේවාලවල බස්නායක නිලමේවරුන්ද මධ්‍යම පාළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා සහ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමති සරත් ඒකනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති උපුල් දිසානායක ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon