උතුරේ වනාන්තර රැකුණේ ප්‍රභාකරන් නිසයි

  👤  2450 readers have read this article !
By mawbima 2018-10-23

වර්තමාන ගුරු පරපුරට ඇති ප්‍රධානම අභියෝගයක් බවට පත් වී ඇත්තේ තමන් ළඟට එන දරුවන් විස මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමත් ඉන් වළක්වා ගැනීමත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හදාරා පිටව ගිය ගුරු භවතුන් 559 දෙනකුට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානයට එක් වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය,
ඔබ වැනි පුහුණු උගත් ගුරු පරපුරක් හදන්නට එදා පුළුවන්කම ලැබුණේ එවකට සිටි මා මිත්‍ර අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණට මම කරන ලද ඉල්ලීමක් අනුවයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති වශයෙන් සිටි කාලේ රිචඩ් පතිරණ මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ රටට ලැබුණා විදේශ ආධාර ව්‍යාපෘති අධ්‍යාපන සංවර්ධන සඳහා. ඒ තුළින් මෙවැනි විද්‍යාපීඨ 4ක් සඳහා මුදල් වෙන් වුණා.ඒ විද්‍යාපීඨ 4 ලබා ගන්න ඒ වෙලාවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පොඩි තරගයක් තිබුණා. ඒ හතර බෙදුණේ එකක් රිචඩ් පතිරණ ඇමැතිතුමාගේ දිස්ත්‍රික්කය ගාල්ලට.

ඒක අක්මීමන තියෙන්නේ. අනෙක් පීඨය ලැබුණේ අද මේ වෙලාවේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සිටින බිංගිරියට. තුන්වැනි එක තමයි රත්නපුරේ තිබෙන විද්‍යාපීඨය. පුලතිසිපුර තමයි හතර වැනි එක. ඒ නිසා එදා රිචඩ් පතිරණ ඇමැතිතුමාත් මමත් තමයි මෙහි මුල් ගල් තියලා වැඩ ආරම්භ කළේ. මේ ගෙවී ගිය දශක දෙකකට ආසන්න කාලසීමාව මා විශ්වාස කරනවා අපි රටේ ජාතියේ අනාගතය සඳහා මේ විද්‍යාපීඨය පොළොන්නරුවේ පිහිටුවීම තුළ විශාල පිනක් කර ගත්තා කියලා. ඒ පින බෞද්ධයෙක් විදියට මේ වෙලාවේ මම අනුමෝදන් කරන්නේ අභාවප්‍රාප්ත රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමැතිතුමාටයි.

ගිය සතියේ තිබුණා ජාතික පාසල් ක්‍රීඩා උළෙල. මම එහි සමාප්ති උළෙලට සහභාගි වුණා. එහිදී අතට දුන්නා අවසාන තරගවල ජයග්‍රහණය කළ පළාත් නවයේ පාසල් දරුවන්ගේ තරග ප්‍රතිඵල. මම බැලුවා පළාත් නවයෙන් උතුරුමැද පළාත කොතැනද ඉන්නේ කියලා. අනෙක් සියලුම පළාත් බැලුවා. අවසානයේ බැලුවා බස්නාහිර පළාතේ පිටුව. පවත්වපු තරගවලින් සියයට අනූවක් ජයග්‍රහණය කරලා තිබුණේ බස්නාහිර පළාතේ පාසල්වල දරුවෝ. ඒ වෙලාවේ මගේ ළඟ වාඩි වෙලා හිටිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා හා ප්‍රධානීන් සමඟ මම කිව්වා මේ ඔක්කොම ජයග්‍රහණය කරලා තියෙන්නේ බස්නාහිර පාසල් නේ කියලා.

එවිට මට ඇමැතිතුමාත් අමාත්‍යාංශයේ ප්‍රධානීනුත් එකවරම දුන්න උත්තරය තමයි ඔය ජයග්‍රහණය කරලා ඉන්න දරුවන් ඔක්කොම බස්නාහිර පළාතේ නෙවෙයි ඔතැනින් සියයට අනූනවයක් අනෙක් දුෂ්කර පළාත්වලින් ආව දරුවෝ කියලා. වැඩි පිරිසක් පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කොළඹට යන දරුවෝ.

මේ රටේ දුෂ්කර කියා පාසල් හැඳින්වුවත්, ඒ ප්‍රදේශවල සේවය කරන ගුරු මහත්ම මහත්මීන් වන ඔබට වගේම එහි අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ දුෂ්කර ප්‍රදේශවල අත්දැකීම තිබුණත්, රටේ අධ්‍යාපනයේ දක්ෂකම් විශිෂ්ටකම් පෙන්වන්නේ අති බහුතරයක් දුෂ්කර ප්‍රදේශවල දරුවෝ.

ප්‍රධාන වශයෙන්ම අද අපේ රටේ වන ගනත්වය පළාත් නවයෙන් ජන ගනත්වය බස්නාහිර පළාතේ වුවත් වන ගනත්වය වැඩිම ලංකාවේ උතුරු ප්‍රදේශයේ. උතුරු ප්‍රදේශයේ වන ගනත්වය පළමු තැන තියෙන්න හේතුව වෙන කිසිවක් නෙවෙයි වසර තිහකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධය. ගරිල්ලා සටන්වලට ත්‍රස්තවාදී නායකයාට අපේ හමුදාවලට පහර දෙන්න එල්.ටී.ටී.ඊ. නායකයාට වනාන්තරය වුවමනා වුණා. ඒ නිසා ඔහු වනාන්තර ආරක්ෂා කළා.

අපේ අනෙක් පළාත්වල වනාන්තර විනාශ කරපු වන ජාවාරම්කාරයන්ට, පරිසරය විනාශ කරපු ජාවාරම්කාරයන්ට යුද්ධය තිබුණු නිසා ඒ කාලේ ඒ පැත්තට යන්න පුළුවන් වුණේ නෑ. අනෙක් පළාත් අටම අද බරපතළ වශයෙන් පාරිසරික අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ලංකාවේ වන ගනත්වය අඩුම දිස්ත්‍රික්කය ගම්පහ. සියයට 02යි. ඊළඟට ඊට වඩා ටිකක් හොඳයි කොළඹ දිස්ත්‍රික්කය සියයට 03යි.


පොළොන්නරුවේ - බණ්ඩාර මුදියන්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon