ජනතාව රවටා බඩවඩා ගන්නා මේ කොල්ල කල්ලි දෙක පලවා හරිමු

  👤  2639 readers have read this article !
By mawbima 2018-10-23

වත්මන් ආණ්ඩුව එපා වූ ජනතාවට අවශ්‍ය ආණ්ඩුව පෙරළීම නමුත් නැවත ඔවුන් විසින්ම අතීතය අමතක කොට පැරැණි කණ්ඩායම ගෙන ඒමට දරන උත්සාහය ඛේදනීය තත්ත්වයක් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු පැවැසුවේ කොල්ල කල්ලි දෙකක් මාරුවෙන් මාරුවට රට විනාශ කරමින් තම බඩ වඩවා ගන්නා මෙම ප්‍රභූ තන්ත්‍රය පලවා හැරීමෙන් මිස රටේ ඉදිරි ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු විය නොහැකි බවය.

ඒ අනුව වැඩ කරන ජනතාවට තමන්ගේ පැත්ත කුමක්දැයි තෝරා ගැනීමේ සම්පූර්ණ වගකීම පැවැරී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ පසුගිය 20දා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති ලංකා විදුලි සේවක සංගමයේ මහ සමුළුව අමතමිනි.

ඊට අති විශාල පිරිසක් සහභාගි වී සිටි අයුරු දැකගන්නට ලැබුණු අතර එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් විසින් අදහස් දක්වන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා,

අද පාලකයන් බලාපොරොත්තු වන විනය මොකක්ද? ඔවුන්ගෙන් යමක් අරගෙන ඔවුන්ට අවනත වෙලා ඉන්න විදියට තමයි විනය ලෙස බලාපොරොත්තු වෙන්නෙ. අපේ වෘත්තීය සමිති කිසි දිනෙක පාලකයා ළඟ දණ ගසා නෑ.

අද පුරවැසියෝ ලෙස දුෂ්කර ජීවිතයක් අපට ගත කරන්න වෙලා. ඊට විසඳුමක් අවශ්‍යයි. අපි පරම්පරා ගණනක් සටන් කළේ, අරගල කළේ, දිවි පිදුවේ මේ දුෂ්කර ජීවිතයෙන් මිදෙන්න. අද මාසික වැටුප 50,000ට වැඩි නම් ආණ්ඩුව බද්දක් ගහනවා. වැඩි වූ ජීවන අංකය එක්ක රුපියල් 50,000න් ජීවත් වෙන්න බෑ. ඒකත් එළියෙ කොල්ල කල්ලියක් බලා සිටිනවා කොල්ල කන්න. ඒවගෙන් සූදු කෙළිනවා. බූරු ගහනවා. ඊ.පී.එෆ්. එකටත් අත තියලා. ආණ්ඩුව අනෙක් ඒවා වගේම විදුලිබල මණ්ඩලය විකුණන්න හදනවා. ඊ.පී.එෆ්. එක කොල්ල කනවා. ඒ ඇයි? මේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තියේ අර්බුදය සමනය කරගන්න. මෙයින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ ජනතාවට. දැන් අපි ඇවිත් ඉන්නෙ අරගලයේ කෙළවරට. එහෙම නැත්නම් වැඩ කරන ජනතාවගේ බලයක් නිර්මාණය කිරීමට. අද වැඩ කරන ජනතාවට වගකීමක් තියෙනවා තමන්ගෙ පැත්ත තෝරා ගන්න.

දැන් මාස් පතා තෙල් මිල වැඩිවෙනවා. ඉස්සර මිනිස්සු බය අවුරුද්දෙ නොවැම්බර් අය-වැය එද්දි. දැන් තෙල් මිලට බය වෙලා. බඩු මිල වැඩි වෙලා. බදු බර වැඩි වෙලා. පෙට්රල් ලීටරයකට රුපියල් 60ක බද්දක් ගහලා. මංගල මහත්තයා මිල සූත්‍රයක් පෙන්නුවා. ඒ අකුරුවලින් කාටවත් එය තේරෙන්නෙ නෑ.

අගමැති ඊයෙ පෙරේදා කියලා තිබුණා නිෂ්පාදන ආර්ථිකයකට හැරෙන බව. කවදාවත් එය වෙන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජානවල තියෙන්නෙ ලිබරල්වාදය.
සෞඛ්‍ය ප්‍රතිපත්තිය වන්නෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක. ඒක ජාවාරමක් වෙලා. ලෙඩ්ඩු හැදීම නෙවෙයි කළ යුත්තේ. හැම ආහාරයකම වස විස. හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නෑ මේ රටට. ඒ වගේම ඔබ, අපි කවුරුත් අනාරක්ෂිතයි. වෙඩි තැබීම්, ස්ත්‍රී දූෂණ වැඩි වෙලා. රිය අනතුරු බහුල වෙලා. මිනිස්සු ප්‍රශ්න ගොඩක හිරවෙලා. දැන් ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා. ආණ්ඩුව පෙරළන්න අවශ්‍ය වෙලා.

හැබැයි නැවත පරණ හොරු කණ්ඩායම ගේනවා අතීතය අමතක කරලා. අඩු තරමේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් රුපියල කඩා වැටීම ගැන මාධ්‍යවේදියෙක් ඇහුවම උත්තර දෙන්න බෑ. අවුරුදු 9ක් රට පාලනය කරලත් මේ අය පත් කිරීම ගැන ඡන්ද දායකයෝ ලැජ්ජා වෙන්න ඕන. වැඩ කරන ජනතාව මූලික වෙන්නේ නැත්නම් කවදාවත් රටක් හදන්න බෑ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත

අද ඊ.පී.එෆ්. එක ආණ්ඩුවට අවශ්‍ය විදියට පාව්චිචි කරන්න යනවා. මේ මුදල් අම්මාගේ අප්පගෙ බූදලේ කියලා කම්කරු ඇමැති හිතාගෙන ඉන්නෙ. මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදුවූ පට්ටම හොරකම සිදුවුණේ අගමැතිගෙ බැඳුම්කර හොරකමින්. ඊ.පී.එෆ්. මුදලුත් මේ හොරකම නිසා විශාල ප්‍රමාණයක් අහිමි වුණා. දැන් ඒ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න හදන්නේ. කොටස් වෙළෙඳපොළ කියන්නේ කිසිම විශ්වසනීයභාවයක් නැති කඩා වැටුණු තැනක්. ආණ්ඩුවේ ආර්ථික මෙහෙයුම ගැනත් අපට විශ්වාස නෑ. අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා අපේ සල්ලිවලට මේ කටයුත්ත කරන්න ආවොත් පැහැදිලිවම එය පරාජයට පත් කරනවාමයි.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon