පොදු පහසුකම් නොමැති උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන ගම් දෙකක ජනතාව සහාය පතති

  👤  1023 readers have read this article !
By mawbima 2018-10-22

දඹුල්ල - කේ.කේ. ආරියදාස

උග්‍ර ආහාර හිඟයකින් සහ පොදු පහසුකම් නොමැති නිසා ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන ගම්මාන දෙකක ජනතාව රජයේ හෝ මහජනතාවගේ සහාය ඉල්ලා සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොලුවාගම සහ හබරවත්ත යන ගම්මාන දෙකේ පවුල් 120ක පමණ ජනතාවක් මේ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු කියති.

කන්න හයක් පමණ නිසි වගාවක් සිදුකර ගැනීමට නොහැකි වීම නිසා මෙම ගමේ ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති. ඔවුන් කියා සිටින්නේ තම ගම්මාන දෙකේ ජනතාව වැසි ජලයෙන් පමණක් සිය ගොවිතැන් කටයුතු සිදුකර ගන්නා බවය.

නිසි කලට වර්ෂාව නොලැබීම හේතුවෙන් මේ වන විට වසර කිහිපයක සිටම තමන්ට ගොවිතැන් බත් අහිමි වීමත් සමඟ දවසේ දුවා දරුවන් සමඟ ජීවත් වීමට නොහැකි තත්ත්වයක සිටින බවය.

මෙම ගම්මානවල ජීවත් වන කිහිප දෙනකු හැරෙන්නට අනෙක් සියලු දෙනාටම නිසියාකාරව නිවාසයක් සනීපාරක්ෂක කටයුත්තක් නොමැතිව සිටින අතර ඉන් බොහෝ කුඩා දුවා දරුවෝ නිසි වස්ත්‍රාභරණ පවා නොමැතිව අසරණ සිටිති. ඇතැම් මවුවරු තම දුවා දරුවන් හට ඉගැන්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වන්නේ ඔවුන් කුසට අහරක් නොගෙන බව කියති.

මෙම ගම්මානයේ ජීවත්වන ජනතාව කියා සිටියේ මේ දිනවල එක වේලක් දිනකට ආහාර ගෙන ජීවත්වන බවය. යන්න එන්නට හරි හමන් පාරක් නැති බවත් හදිස්සියකදී ලෙඩක් හැදුණු විට විශාල දුරක් ආරෝග්‍ය ශාලාවකට ගමන් කිරීමට සිදුවන බවත් රාත්‍රි කාලයේ වන අලින්ගෙන් දැඩි දුෂ්කරතා විඳින බවත් ඔවුහු පවසති.

අහස් දියෙන් හේන් ගොවිතැන් කර ගනිමින් ජීවත් වූ මෙම ජනතාවට මේ දිනවල වර්ෂාව අද හැලුණද නැවතත් වගා ආරම්භ කිරීම සඳහා ආර්ථික ශක්තියක් නොමැති වීම තවත් කරුණකි. ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව ඇත්තේ දින කිහිපයක් හෝ තම දුවා දරුවන් සමඟ නැවත වගාවන් ආරම්භ කරන තෙක් වියළි ආහාර ටිකක් හෝ ලබා දෙන්නේ නම් එය ප්‍රමාණවත් වන බවය.

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කියූ සැණින් බොහෝ දෙනකුට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මතක් වන නිසා මෙම ගම්මානයට ලැබෙන බොහෝ පොදු පහසුකම් අහිමි වී තිබෙන බව ගම්මු පවසති. එහෙත් මහවැලි දිය පොදක් හෝ තම ගම්මානයට නොලැබෙන බවත් අහස් දියෙන් පමණක් ඔවුහු ජීවිත ගැටගසා ගන්නා බවත් කියති.

නිවෙසේ හිමියන් තාවකාලිකව තැනූ නිවාසවල ජීවත් වෙති. එහි දුවා දරුවන්ද ඒ හා සමානව දැඩි දුෂ්කරතාවකට අඩුපාඩුවලින් ගහනව ජීවත්වෙන බව ඔවුහු අප සමඟ පැවැසූහ.

මෙම ගම්මානයේ පදිංචිව සිටින ජනතාව පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමුව හෝ දානපතීන්ගේ අවධානය යොමුව අඩුම තරමේ වියළි ආහාර ටිකක් හෝ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලීමක් කර සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon