ප්‍රගතියක් පෙන්වා නැති ආසන සංවිධායකයන් ගැන තීරණයක් ගන්නවා - රනිල් වික්‍රමසිංහ කියයි

  👤  1017 readers have read this article !
By mawbima 2018-10-22

උපතිස්ස පෙරේරා

එජාප ශාඛා සමිති බල මණ්ඩල ප්‍රතිසංවිධානය, සාමාජික ප්‍රවර්ධනය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය, තුරුණු ශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන් ගමට ගෙන යෑම ඇතුළු කරුණුවලදී සාර්ථක ප්‍රගතියක් පෙන්වා නොමැති එජාප ආසන සංවිධායකවරුන් ඉදිරි දෙමස තුළ සිය වගකීම් හරි හැටි ඉටු නොකළහොත් ඔවුන් පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බව එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට අනතුරු අඟවා තිබේ.

මෙම කරුණු පිළිබඳව ඉකුත් 17 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පුළුල් ලෙස සමාලෝචනය කර ඇති අතර, එවැනි ආසන සංවිධායකයන් ගණනාවක් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අදාළ ප්‍රදේශවල ආසන සංවිධායකයන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව අමාත්‍යවරු කිහිප දෙනකුම එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් පවසා තිබේ.

එහිදී කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මෙම වසර තුළ රජය රුපියල් බිලියන ගණන් ප්‍රතිපාදන ලබාදී සංවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ජනතාව අතරට ගෙනගොස් ඇති බවත් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අත්කරදීමේ වගකීම පැවරී ඇති ආසන සංවිධායකයන් තම වගකීම් හරි හැටි ඉටු නොකරන්නේ නම් ඉදිරි මැතිවරණයකදී එවැන්නන් පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය, තුරුණු ශක්ති ඇතුළු රජයේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මාසිකව පක්ෂ මූලස්ථානයට වාර්තා ඉදිරිපත් කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරයා සියලුම එජාප සංවිධායකයන්ට උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon