රෝ එකෙන් පඩි ගන්න අය ජනපති-අගමැති රටට හෙළි කළ යුතුයි

  👤  2849 readers have read this article !
By mawbima 2018-10-22

මත්තල _ ඩී.එන්. ජයසේකර

'ඉන්දියානු බුද්ධි අංශයෙන් පඩි ගන්නා අය කැබිනට් මණ්ඩලයේ සිටිනවා නම් අගමැතිවරයා හා ජනාධිපතිවරයා වහාම ඒ පිළිබඳව රටට හෙළි කළ යුතු' යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) ලුණුගම්වෙහෙර, ඇල්ලෙගල ශ්‍රී ක්ෂේත්‍රාරාම විහාරස්ථ ශ්‍රී ධර්මරතන දහම් පාසලට වාර්ෂික පොත් බෙදා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

'තමන්ගේ කැබිනට් එකේ ඉන්දියානු බුද්ධි අංශයෙන් පඩි ගන්න අය ඉන්නවා නම් ඒක ජාතික ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ඒක ජාත්‍යන්තර වශයෙනුත් බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ වගකීමක් තියෙනවා ඒ අය සම්බන්ධයෙන් රටට හෙළි කිරීම.

පසුගිය දවසේ ඉන්දියානු මාධ්‍යත් මේ පිළිබඳව වාර්තා කර තිබුණා, ජනාධිපතිවරයා කිව්වා කියලා තමන්ව ඝාතනය කරන්න ඉන්දියානු 'රෝ' ඔත්තු සේවය කැබිනට් එකේ කෙනකුට කොන්ත්‍රාත්තුවක් දීලා කියලා. ඉන්දියානු මාධ්‍ය ඒක ඒ විදියට වාර්තා කළාම ජනාධිපතිතුමාගේ මාධ්‍ය කිව්වා, 'එහෙම කිව්වේ නැහැ'යි කියලා. නමුත් දැන් මහින්ද අමරවීර මහත්තයා කියනවා කැබිනට් එකේ 'රෝ' ඒජන්තවරුන් දෙන්නෙක් ඉන්නවාය කියලා.
එතකොට අමරවීර මහත්තයා කියන ප්‍රකාශයයි, ජනාධිපතිතුමා කැබිනට් එකේදි කිව්වයි කියන කතාවයි අතර සම්බන්ධයක් තියෙනවා. ජනාධිපතිවරයා එහෙම දෙයක් කිව්වේ නැතිනම්, කැබිනට් මණ්ඩලයේ කෙනෙක් ඉන්දියාවේ මාධ්‍යට කිව්වේ නැතිනම් හා නොකියපු දෙයක් නම් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණේ අමරවීර ඇමැතිවරයා මේ තරම් කලබල විය යුතු නෑ. අද මහින්ද අමරවීර ඇමැතිවරයා බය නැතිව මේ විදියේ ප්‍රකාශයක් කිරීම තුළින්ම අපිටත් සාධාරණ සැකයක් තියෙනවා මේ කියන කතා ඇත්තද කියලා.

අද මේ ආණ්ඩුව උදේ කියන එක නෙවෙයි හවසට කියන්නේ. හවසට කියන එක නෙවෙයි උදේට කියන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ලොවට විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි කියන්නේ 'ද හින්දු' පුවත්පත තමන්ගේ පුවත සම්බන්ධයෙන් වූ වගකීම ගන්නවා නම් අගමැතිවරයාගේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා රටට එළි කරන්න ඕනෑ මෙහි ඇත්ත නැත්ත මොකද්ද කියලා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon