සියඹලාණ්ඩුවෙන් ගාල්ලට ඊ-56 උණ්ඩ 3,000ක්

  👤  2840 readers have read this article !
By mawbima 2018-10-22

බුත්තල - නයන කුමාර

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හැඩ ඔය පාලම අසලදී පාතාල නායක කොස්ගොඩ සුජිත්ගේ ගෝලයකු වන දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින "ජයලත් සුද්දා" නමැති අය විසින් සියඹලාණ්ඩුවේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යෑමට සූදානම් කර තිබූ, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3000 (තුන් දහසක්), එම්.එම්. 9 වර්ගයේ පතරොම් 32ක්, සෙල්ලම් පිස්තෝලයක් හා සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියන් දෙදෙනකු සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මේ සමඟ ජීව උණ්ඩ ප්‍රවාහනය කළ කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් ගාල්ල, බද්දේගම පදිංචි වයස අවුරුදු 36, 37 අතර තරුණයන් වන අතර අවුරුදු 33 හා 26 යන වයස්වල කාන්තාවෝ දෙදෙනෙක්ද වෙති.
ප්‍රධාන සැකකරු කලක් නාවික හමුදාවේ සේවය කළ
සෙබළකු බව පොලිසිය පවසයි.

සැකකාර එක් කාන්තාවකගේ සැමියා මිනිස් ඝාතනයක් සම්බන්ධව පොලිසිය සොයමින් සිටින අපරාධකරුවෙකි.

පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මේ වැටලීම කරන අවස්ථාවේ හිටපු නාවික සෙබළා උණ්ඩ රැගෙන පලායෑමට තැත් කරද්දී පොලිසිය උණ්ඩ තොගය සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උණ්ඩ සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම උෟව පළාත් නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරි ධ්ධ් තිලකරත්න යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රියන්ත බණ්ඩාර, උ.පො.ප. සම්ලි ගුණවර්ධන, පො.සැ. නාගරාජා (43564), සිරිමල් (13101), රත්නායක (43668), පො.කො. හේරත් (66504), කුමාර (81995), හේරත් (54194), විජේතුංග (54370), සරික් (40877) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon