ලංකාවේ ඇමැතිලා 4ක් රෝ එකට සම්බන්ධයි

  👤  2981 readers have read this article !
By mawbima 2018-10-22

තංගල්ල -සහම්පති මානගේ

ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදු කළේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පළ කළ පුවතට අදාළ තොරතුරු 'හින්දු' පුවත්පතේ වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් සිවු දෙනකු බවද ඔවුන් ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවයත් සමඟ සම්බන්ධකම් ඇතැයිද, එම ඇමැතිවරුන් පිළිබඳ තොරතුරු ඉදිරි කාලයේදී හෙළි කරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පෙරේදා (20දා) බෙලිඅත්ත _ පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

"පසුගිය දිනවලදී පුවත්පත්වල පළ වුණා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේවා සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමැතිවරුන් හතර දෙනකු තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕනෑ ඒ ඇමැතිවරුන් කවුද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරු කරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කතා නොකළ දෙයක් ගැන කතා කිරීම බරපතළ වැරැද්දක්.

ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයන් එක්ක ගනුදෙනු කරනවා නම් ඒකත් බොහොම ලොකු වැරැද්දක්. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමැතිවරුන් 'රෝ' ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වාර්තාකාරයන් හරහා 'රෝ' ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන බව කියන අය ගැන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.

කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එළවීමේ වගකීම අපේ නායකයන්ට තිබෙනවා" යැයිද ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon