සාන්ත පීතර හා ලයිසියම් බාලක බාලිකා ශූරතා දිනාගනී

  👤  2729 readers have read this article !
By mawbima 2018-10-22

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සිලෝන් බිස්කට්ස් සමාගමේ "රිස්ට්බරි" අනුග්‍රාහකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ 49 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී බාලක අංශයේ ශූරතාව ප්‍රසාද ලකුණු 84ක් ලබා ගත් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර බාලිකා අංශයේ ශූරතාව ප්‍රසාද ලකුණු 45ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනාගන්නා ලදී.

අනුරාධපුර ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ බාලක අංශයේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් ප්‍රසාද ලකුණු 79ක් ලබා ගත් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයටත් ප්‍රසාද ලකුණු 44ක් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලයටත් හිමි විය. තවද ප්‍රසාද ලකුණු 40කට හිමිකම් කියූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල කාන්තා අංශයේ අනුශූරතාව දිනා ගනිද්දී එහි තුන්වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 30ක් ලබා ගත් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමි විය. වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීම ඉසව්වේදී මීටර් 6.23ක දක්ෂතාවක් දැක්වූ හලාවත අඹකඳවිල ශාන්ත රෝගුස් කනිෂ්ඨ විද්‍යාලයේ නිපුන් රනිෂ්ක මෙම තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසින් ද වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 27.2කින් නිමා කරමින් එහි රන් පදක්කම දිනා ගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දිනාරා බණ්ඩාර දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙසින්ද සම්මාන දිනා ගත්තාය.

මේ අතර දින තුනක් පුරා පැවැති 49 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී බාලක අංශයෙන් නව තරගාවලි වාර්තා 5ක් සහ කාන්තා අංශයෙන් නව තරගාවලි වාර්තා 2ක් පිහිටුවීම කැපී පෙනුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon