ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින පස්සටම යනවා: කුසල් මෙන්ඩිස්ටත් විවේකයක් දිය යුතුයි

  👤  2798 readers have read this article !
By mawbima 2018-10-22

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ලොව පහත්ම තත්ත්වයට ඇදවැටී ඇති බවත් එය තවදුරටත් පසුපසට ගමන් කරමින් තිබෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන පවසයි.

විදෙස් මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා ඇති මහේල එහිදී තවදුරටත් අදහස් දක්වමින්, "ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපි හිටපු තැනින් තව තවත් පසුපසට යනවා. මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් පහළටම ඇද වැටිලා. එක්දින ශේ‍ර්ණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සටහනින් අපට එය වඩාත් පැහැදිලි වෙනවා.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඔවුන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකරනවා නම් එය ‍ෙදාම්නසට කරුණක් ලෙසින් මම දකිනවා. එමෙන්ම ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩා කරද්දී සහ ක්‍රීඩාගාරය තුළදී මින් පෙර පැවැති කණ්ඩායම් හැඟීමත් එකමුතුකමත් අඩුවීම ඉතාමත් පහළ මට්ටමේ දක්ෂතා දැක්වීම කෙරෙහි බලපාන තවත් කරුණක් බව මගේ මතයයි. එම නිසා තරග ජයගැනීම සඳහා සැලසුම් සකස් කරන අතරම කණ්ඩායමෙන් ගිලිහී ගිය සමඟිය නැවතත් කණ්ඩායමට එකතු කර ගැනීමට වහාම ක්‍රියා කළ යුතුයි. එය සිදු කිරීමේදී පුහුණුකරුවන්ට සහ කළමනාකරුවන්ට විශාල වගකීමක් පැවැරෙනවා. එමෙන්ම මෙම ප්‍රශ්නවලට විසඳුම් මාස 6ක්, 7ක් වැනි කෙටි කාලයක් තුළ විස¼දා ගත යුතු වනවා. ඉතාමත් ළාබාල කණ්ඩායමක් වන වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව වසර 10ක 15ක පළපුරුදු ක්‍රීඩකයන් නොමැති වීමත් ඊට හේතුවයි" යනුවෙන් පවසා ඇත.

තවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් මහේල පවසා ඇත්තේ, ක්‍රිකට් දූෂණ සම්බන්ධව ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වුවද එම කරුණු මෙතෙක් තහවුරු වී නැති බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාවන් සම්බන්ධයෙන් තමන් ද දැඩි කනගාටුවට පත්වූ බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල පවසා ඇත.


මේ අතර කුසල් මෙන්ඩිස් මේ දිනවල දක්වන දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ද සිය නිල 'ට්විටර්' ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් මහේල පවසා ඇත්තේ, කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කෙටි කලක විවේකයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. තවද ඕනෑම ක්‍රීඩකයකු මුහුණදෙන ආකාරයේ අපහසු කාලයක් පසුකරන තත්ත්වයට අති දක්ෂ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් ද මුහුණදී ඇති බව මහේලගේ අදහසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon