මම දේශපාලන දෙබිඩ්ඩෙක් නොවෙයි

  👤  2853 readers have read this article !
By mawbima 2018-10-22

මෛත්‍රිපාල සිරිසේන මහතා යහපාලන ආණ්ඩුව පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන්න ආරාධනා කරන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා බිම බලාගෙන නිහඬ වුණේ ඇයි කියලා අහනවා. පිට කොන්දක් තිබුණා නම් එදා ඒකට විරුද්ධ වෙන්න තිබුණා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා මතුගමදී කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් එල්ල කළ චෝදනා පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් වෙල්ගම මහතා මෙසේද පැවැසීය.

"ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හතර දෙනකු එල්ල කළ මේ විවේචන පිළිබඳ සමාදානයකට එන්න කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය 16 වැනිදා එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී අපෙන් ඉල්ලා සිටියා. අනෙක් අය ඒකට කැමැති නම් තමාද ඊට එකඟ නමුත් තමාට එල්ල කළ චෝදනාවලට උත්තර දීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතාටද දැනුම් දුන් බව කුමාර වෙල්ගම මහතා කීවේය.


මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පිටකොන්දක් තිබේ නම් ඇයි මහින්ද සුළඟ වේදිකාවට ගොඩවුණේ නැත්තේ. එදා ඒකට බය වුණා. එතුමගේ ගමේ තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ රැස්වීමටවත් ආවේ නැහැ. එදා නුවර වේදිකාවට නැඟපු එකම කෙනා දිලුම් අමුණුගම මන්ත්‍රිතුමා විතරයි. අනෙක් සියලු දෙනා හැංගිලා හිටියා.

මම රනිල් වික්‍රසිංහ මහත්තයාට කඩේ යනවා කියලා කෑගහනවා. මම කවදාවත් යූ.එන්.පී. එකට යන්නේ නැහැ. එදා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ ආණ්ඩුව එපා කියපු මම රනිල්ගේ ආණ්ඩුවකට යනවද? මම හොඳ වාමාංශිකයෙක්. යනවා නම් යන්නේ රතු ලේ තියෙන හොඳ වමේ පක්ෂයකටයි.

තව මන්ත්‍රිවරයෙක් ඉන්නවා. එතුමාගේ පියා බොහොම හොඳ කෙනෙක්. නමුත් පුතාගේ අත් දෙකේම ලේ තැවරිලායි තියෙන්නේ. එතුමා කීදෙනකුට හානි කළාද කියලා අපි හැමෝම දන්නවා.
තවත් මන්ත්‍රිවරයෙක් හිටියා. එතුමා එදා මධ්‍යම කාරක සභාවේ හිටියේ නැතත් මහින්ද සුළඟ නුවර තිබුණු වේදිකාවට ගොඩවුණා. නුගේගොඩ ආවේ නැති වුණත් නුවරදී එකතු වුණා. ඒ නිසා එතුමාගේ කතාව මම ඉවසා වදාරා ගන්නවා.

නලීන් බණ්ඩාර මන්ත්‍රිතුමා කියනවා මම මහින්ද මහත්තයාගේ ඩීල් එකක් කරනවා කියලා. මහින්දානන්ද මන්ත්‍රිතුමා කියනවා රනිල්ගේ වැඩක් කරනවා කියලා. එහෙම නම් මම දෙබිඩ්ඩෙක්ද? ඒ නිසා මේ අයගේ දේශපාලන දැනුම ගැන හිතලා හරියට විශ්ලේෂණය කරලා හිතා බැලිය යුතුයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මේ වගේ උදවිය අද මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින ජේ‍යෂ්ඨතම නිර්භීත මන්ත්‍රිවරුන්ට චෝදනා කරනවා.

මම මේ පිළිබඳව වෛර කරන්නේ නැහැ. කෝප වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 36ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉ¼දලා, පක්ෂ මාරු නොකර, එක එක්කෙනාට කඩේ යන්නේ නැතිව ඉඳලා කටයුතු කළ මට ලොකු වේදනාවක් ඇති වෙනවා. අපි නඩුවලට බය නැහැ. නඩු තිබුණා කියලා කාගේවත් පස්සේ යන්නේ නැහැ. අපි වැරැදි කරලා නැහැ කියලා හෘද සාක්ෂිය දන්නවා. නමුත් අධිකරණය දෙන තීන්දු පිළිගන්නවා. සමහර විට නිදහස් වෙයි. නැත්නම් දඬුවම් දෙයි. ඕන දෙයක් භාරගන්න සූදානම්.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon