ඔබේ රටට තර්ජනයක් වන කිසිවක් ලංකා භූමිය තුළ සිදු කිරීමට ඉඩ දෙන්නේ නෑ

  👤  2760 readers have read this article !
By mawbima 2018-10-22

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා සහාය ලබාදීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකළපුව දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලිසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙස් ජීප් රථ 750ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහාය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං පැවැසීය.

20 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේදී හමුවෙමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාව හේතුවෙන් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත් වී ඇති බවය.

ශ්‍රී ලංකාවේ අපරාධ මර්දන ක්‍රියාවලිය විධිමත් කරලීම උදෙසා ඉන්දියාව ලබා දෙන සහයෝගය පිළිබඳව මෙහිදී වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර සිටියේය. ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ සියයට 30කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බවත් ලැබුණු පැමිණිලිවලින් සියයට 90කට විසඳුම් ලබාදීමට හැකි වූ බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යනුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහාය ලබා දීමටද රාජ්නාත් සිං මහතා එකඟ විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියේ ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන ආරක්ෂණ ක්‍රමවේද හා තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ශ්‍රී ලංකාවටද ලබාදෙන ලෙසය. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon