ව්‍යාපෘති කඩිනම් කිරීමට සුදුසු පියවර වහා ගන්නා බවට රනිල්ගෙන් පොරොන්දුවක්

  👤  2727 readers have read this article !
By mawbima 2018-10-22

ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපයීය අනන්‍යතාවක් ඇති කරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

20 වැනිදා පෙරවරුවේ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් ශාලාවේදී පැවැති සාකච්ඡාවේදී තවදුරටත් අවධාරණය කෙරුණේ ඉන්දීය පදනම මඟින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුවේ කාර්යයයන් තවදුරටත් පුළුල් කරලීම අතිශය වැදගත් බවයි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන සර්ව පාර්ශ්ව වැඩ සැලැස්ම සඳහාද ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවැසුවාය. ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍ර සබඳතා ශක්තිමත් කරලීම හා පුළුල් කරලීම උදෙසා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දරන වෑයම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැතිනිය සිය කෘතඥතාව පළ කළාය.

කලාපීය ගැටලු හා ප්‍රවණතා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා බැවින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුවහොත් ගතයුතු පියවර සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග උපදෙස් ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධව ඉන්දියානු ප්‍රතිපත්තිය ස්වරාජ් මහත්මිය පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවටද ඒ අනුවම ක්‍රියා කළ හැකි බව එහිදී තහවුරු කෙරිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අමාත්‍ය රණතුංග මහතා වෙත යොමු කිරීමටද කටයුතු කරන බව ඉන්දීය බලධාරීහු පැවැසූහ.

උතුරු නැඟෙනහිර සංවර්ධන කාර්යයන් හා ඒවා කඩිනම් කරලීමේ අවකාශයන් පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon