බැංකු දෙකම එජාපයේ ගජමිතුරන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරලා

  👤  2980 readers have read this article !
By mawbima 2018-10-22

රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා බැංකු සේවකයන්ට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ටි්‍රලියන 3 1/2කට වැඩි වත්කම් ප්‍රමාණයක් තිබෙන මෙම රාජ්‍ය බැංකු 02 මෙලෙස නොසලකා හැරීමට නොහැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (21දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ලංකා ඉතිහාසයේ නිදහසින් පසු කවදාවත් නොවූ විරූ ආකාරයට රටේ සමස්ත බැංකු, මුදල් හා ණය ක්‍රමය ගැන අර්බුදයක් ඇති වුණා පසුගිය කාලයේ. යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා දින 100 විප්ලවය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ පත්කළ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යටතේ සිදුවූ මහ බැංකු කොල්ලය නිසා මහ බැංකුව ගැන තිබෙන විශ්වාසය කඩාවැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී පමණක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය වන මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විදේශ ආයෝජකයන් විසින් ආපසු රැගෙන ගියා.

අපේ රටේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 2,000කට වැඩියි. මහජන බැංකුවේ වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 1,500කට වැඩියි. රුපියල් බිලියන 3,500කට වඩා වැඩියි ලංකාවේ රාජ්‍ය බැංකු දෙකේ වත්කම් ප්‍රමාණය. විවිධ අවස්ථාවල දේශපාලන තීන්දු තීරණ මත මේ බැංකු 02 පිළිබඳව පෞද්ගලීකරණ යෝජනාව විටින් විට මතු වුණත් විශේෂයෙන් බැංකු සේවකකාරකාදීන් ඇතුළු සමස්ත රටේ ජනතාව රාජ්‍ය බැංකු 02 පෞද්ගලීකරණය නොකළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරයේ සිටිනවා.

එවන් තත්ත්වයක් තුළදී බැංකුවලට පත්කළ එ.ජා.ප.යේ හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩලවලදී මහජනයා සතු වැඩිම මුදල් ප්‍රමාණය තියෙන බැංකු දෙකේ ඔවුන්ගේ ගජ මිතුරන්ගේ ණය කෝටි ප්‍රකෝටි ගණනින් බොල් ණය ලෙස කපාහැරලා තිබෙන බව වාර්තා වෙනවා. තමන්ගේ ගජ මිතුරන්ට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් සිටි අසාමාන්‍ය ලෙස ණය මුදල් ලබාදීලා තිබෙනවා. ලංකා බැංකුව පැහැදිලිව මහ දවල් මහ බැංකුවේ සිදුවූ කොල්ලයට සම්බන්ධතාව දක්වා තිබෙන බව බැඳුම්කර කොමිසමේ තහවුරු වුණා.

මේ තත්ත්වය තුළ ලංකා බැංකුවයි මහජන බැංකුවයි වැටිලා තිබෙන තත්ත්වය වැළැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඇමැතිවරයාට උපදේශයක් ලබාදී තිබෙනවා, වහාම මේ බැංකු දෙකේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැරලා නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කරන්න කියලා. නමුත් අද වනතුරු නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කරලා නැහැ. මේ නිසා ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ ඇති වෙලා තිබෙන කඹ ඇදිල්ල කරණකොටගෙන බැංකු ක්‍රමය තුළ අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයට ප්‍රධාන ආනයනකරුවන් කිහිපදෙනෙක් පැමිණ ප්‍රකාශ කළා, ඒ අයට දැනගන්න ලැබිලා තිබෙන ආකාරයට ඕස්ට්‍රේලියාව විසින් අපේ රාජ්‍ය බැංකුවලින් නිකුත් කරන ණයවර ලිපි ප්‍රතික්‍ෂේප කිරීමට සූදානම් වන බව. එවිට භාණ්ඩ ආනයනය කිරීමට අවහිරතා ඇති වන බවත් ඔවුන් කියා සිටියා.

මම ඔවුන්ට උපදෙසක් දුන්නා එය සත්‍යයක්ද කියලා බලන්න, සඳුදා දිනයේදී තවත් ණයවර ලිපියක් ඕස්ට්‍රේලියාවට මේ රාජ්‍ය බැංකු හරහා නිකුත් කරන ලෙස. එය ප්‍රතිග්‍රහණය කර නොගත්තොත් ඒ සඳහා රජයත් මහ බැංකුවත් බේරුම්කරණයකට යා යුතුයි.

1980 ගණන්වල පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් ලෙස සිටියදී මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඩිංගිරිබණ්ඩා විජේතුංග මැතිතුමා එක්තරා දිනෙක පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශයක් කළා රාජ්‍ය බැංකු දෙකම බංකොලොත් කියලා. එහෙම කිව්ව ගමන් ඇති වූ ප්‍රතිඵලය තමයි මේ රාජ්‍ය බැංකු නිකුත් කළ ණයවර ලිපි ගනුදෙනු කරන්නේ නැහැ කියලා තීන්දුවක් ගැනීම. එහිදී රටේ ජනාධිපතිවරයා වශයෙන් සිටි රණසිංහ ප්‍රේමදාස මහතා මේ බැංකුවල ප්‍රාග්ධනය ප්‍රතිව්‍යුහගත කරලා නැවත නඟාසිටුවලා තමයි යන්තම් බැංකු දෙක බේරා ගත්තේ.

ඉන් පසුව ලෝකයේ විශාල මූල්‍ය අර්බුදයක් ඇති වුණා 2007 වර්ෂයේදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ බැංකු කඩාවැටුණේ කාඩ් කුට්ටමක් බිම වැටෙනවා වගේ. ඒ අවස්ථාවේදී ලංකාවේ සෙලාන් බැංකුව හෙලවුණා. එවකට රටේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා. ඔහු සෙලාන් බැංකුව රජයට පවරාගෙන මූල්‍ය අර්බුදයෙන් බේරා ගත්තා. අදටත් සෙලාන් බැංකුව වඩාත් කාර්යක්‍ෂම බැංකුවක් ලෙස තිබෙනවා.
මේ රටේ ජනාධිපතිවරයා මෙතරම් අසරණ වෙලා තියෙන්නේ ඇයි කියලා අපට තේරෙන්නේ නැහැ. රටේ බැංකු ක්‍රමය, ණය ක්‍රමය අර්බුදයකට ලක්වෙලා තිබෙනවා.

මංගල සමරවීර මහතා කියලා තියෙනවා මාධ්‍ය සාකච්ඡාවකදී මගේ නම කියලා මම බදු ගෙවනවද දන්නේ නැහැ. ආදායම් බදුවල නඩු තියෙනවාද දන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මගේ ගිණුම් සකස් කරන ආයතනයට මේ අවුරුද්දේ බදු නොවෙයි, අවුරුදු 5ක 10ක ආදායම් බදු විස්තරය ගෙන එන්න කියලා ලබන අඟහරුවාදාට. මම එය ඉදිරිපත් කළ විට මම බලාපොරොත්තු වෙනවා වත්මන් මුදල් ඇමැති සහ හිටපු මුදල් ඇමැතිත් එලෙසින්ම ඔවුන්ගෙ ආදායම් බදු විස්තරය ඉදිරිපත් කරයි කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

අධ්‍යාපන ඇමැතිවරයා කියනවා පාසල් නිල ඇඳුම් සඳහා ආනයනය කළ රෙදිවලට එල්ල වන චෝදනාව බොරුවක්, වවුචර් ක්‍රමය අවසන් වෙන්නේ නැහැ කියලා. අපිට දැන් ප්‍රශ්නය තිබෙන්නේ මේ කැබිනට් පත්‍රයේ අධ්‍යාපන අමාත්‍යාංශයත් කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයත් එකට එකතු වෙලා ඉදිරිපත් කළ කැබිනට් ප්‍රකාශනය.

මේ රෙදි ගනුදෙනුව සම්බන්ධයෙන් මෙහි සියලු කාරණා අන්තර්ගත වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයත් කැබිනට් පත්‍රිකා යොමු කරමින් කියනවා අපි බොරු කියනවා කියලා. මේ ගැන හෙළිදරව් කළ නිසා මේ ගනුදෙනුව ඉදිරියට ගෙන යා නොහැකි නිසයි ආණ්ඩුව මේ වගේ බොරු කියන්නේ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon