මහජනයා බහුලව ඉන්නා තැන්වලට ගොස් දේපළ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක තිදෙනකු අත්අඩංගුවට

  👤  2740 readers have read this article !
By mawbima 2018-10-22

කොළඹ - එම්.සී. පෙරේරා

මහජනයා බහුල වශයෙන් ගැවැසෙන ස්ථානවලට ගොස් වටිනා දේපළ සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවූ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු පෙරේදා (20දා) ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මංගල උළෙල, අවමංගල අවස්ථා ඇතුළු උත්සව අවස්ථාවල මොවුන් මේ ක්‍රියාදාමයේ යෙදී ඇත.

එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් තුනක්, ජංගම දුරකථන අටක් හා රන් මුදුවක් පොලිසිය භාරයට ගෙන තිබේ.

ගල්කිස්ස හෝටලයක ඉකුත් මස 6 වැනි දින පැවැති මංගල සාදයකට සහභාගි වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඔවුන්ගේ පවුලේ අය සමඟ ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී මේසයමත තබා තිබූ ලැප්ටොප් පරිගණකය සහිත බෑගය ජංගම දුරකථනය හා මෝටර් රථයේ යතුර කිසියම් අයකු සොරාගෙන ගොස් තිබේ. ඒ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිල්ලකට අනුව හෝටලයේ උත්සව ශාලාවේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවේදී දුරකථන ඇමැතුමක් ලබා ගන්නා අයුරින් ජංගම දුරකථනයක් කනේ රඳවාගෙන පැමිණෙන පුද්ගලයකු එම පරිගණකය සහිත බෑගය හා ජංගම දුරකථනය මෙන්ම යතුර ද රැගෙන යන අයුරුද සටහන්වී තිබී ඇත.

ඒ අනුව කළ පුළුල් විමර්ශනවලදී එම පුද්ගලයා රත්මලාන ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත. එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ රත්මලාන දුම්රියපොළ අසලට පැමිණ සිටින බවට ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයට 20දා තොරතුරක් ලැබී ඇත. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එවිට ඉකුත් මස 6 වැනි දින ගල්කිස්ස හෝටලයකදී කළ සොරකම ඇතුළු තවත් සොරකම් ගණනාවක තොරතුරු හෙළි වී ඇත.

සැකකාර නාවික සෙබළා අධ්‍යාපනය ලද කළුතර විදුහලක ගුරුවරයකුගේ රන් මුදුවක්, මොරටුව විදුහලක ලැප්ටොප් පරිගණකයක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකින් සොරා ගත් ලැප්ටොප් පරිගණකයක් මෙන්ම බස් රථවල සිදු කළ සොරකම් කිහිපයක තොරතුරු හෙළි වී තිබේ.

සොරාගන්නා භාණ්ඩ විකුණා මුදල් ලබා ගැනීමට උදවු කළ නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුද එම දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසූ අතර ඔහුද හිටපු නාවික සෙබළකු බව පොලිසිය කියයි. සැකකරුවන් තිදෙනාම තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉංගිරිය, පූගොඩ හා කිරිඇල්ල පදිංචිකරුවන්ය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මාධව රත්නායක, සැරයන් නීල් (19073), වංශජය (28315), කොස්තාපල්වරුන් වන ලියනආරච්චි (38024), සිරිවර්ධන (2758), මධුසංක (78193), හේමන්ත (82753), මධුසංක (83933) මහත්වරු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon