හෙට්ටිපොළ ඉන්ධන පිරවුම් හලකින් ලක්ෂ 14ක් කොල්ලකෑ සැකකරුවන් හතර දෙදෙනකු අත්අඩංගුවට

  👤  2763 readers have read this article !
By mawbima 2018-10-22

රඹාවැව - කේ.ඒ. ජයසූරිය

පඬුවස්නුවර, හෙට්ටිපොළ, හිරිපොකුණ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් පසුගිය මස 2දා රුපියල් 1,420,000ක මුදලක් මංකොල්ලකෑ සැකකරුවන් හතර දෙනකු මංකොල්ල කෑ මුදලින් රුපියල් 904,000ක මුදලක් සමඟ අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවැසීය.

අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු යුද හමුදාවේ ගැමුණු සේවා බළඇණියේ සේවයේ යෙදී සිට මෙයට පෙර නිවාස 35ක් කොල්ලකා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටින කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අනෙක් සැකකරුවන් තිදෙනා ඉන්ධන පිරවුම් හලේ සේවයේ යෙදී සිටින කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඉස්වැටිය ප්‍රදේශයේ දෙදෙනකු හා දිය‍ෙදාර ප්‍රදේශයේ අයකු බවට අනාවරණය කර ගෙන ඇත.
කිරිමැටියාව පදිංචි ප්‍රධාන සැකකරුගේ නිවෙස අසල ගල්තලාවක ගල් දෙබොක්කාවක සඟවා තිබියදී නව ලක්ෂ හාර දහසක මුදල සොයාගෙන ඇත. ඉතිරි රුපියල් පන්ලක්ෂ දහසය දහසක මුදලින් කොටසක් ප්‍රධාන සැකකරු විසින් අනියම් බිරියන් තුන් දෙනකුටත් බූරු ගහන්නත් වියදම් කර ඇති බවට වාර්තා වේ. ඉතිරි මුදලින් ඔහුගේ නිවෙස ඉදිකිරීමට අවශ්‍ය බඩු මිලදී ගෙන ඇති බවට ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය කරගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවැසීය.

සොරකම සිදුකළ දින ප්‍රධාන සැකකරු සහ ඉන්ධන පිරවුම්හලේ සේවයේ නියුතු සේවකයකුගේ යතුරුපැදියෙන් ඉන්ධන පිරවුම් හලට පැමිණ ඇත. මෙම සේවකයා ප්‍රධාන සැකකරුගේ ඥාතියෙකි. මොවුන් එන විට කිරිමැටියාව වෙළෙඳසලකින් මිරිස් කුඩු රැගෙන විත් ඇත. ඉන්ධන පිරවුම්හලේ සේවය කරන පුද්ගලයන් දෙදෙනා ලබාදුන් සංඥා අනුව ක්‍රියාත්මක වූ ප්‍රධාන සැකකරු කළමනාකරුට මිරිස් කුඩු ගසා මුදල් මංකොල්ලකා ඇත.
මුදල් රැගෙන මොවුන් කිරිමැටියාව ප්‍රධාන සැකකරුගේ නිවෙසට ගොස් ඔහුට මුදල් තබාගන්නා ලෙසට අනෙක් සැකකරුවන් පවසා ඇත.

අත්අඩංගුවට ගෙන සිටින ඉන්ධන පිරවුම් හලේ පුද්ගලයකුට ප්‍රධාන සැකකරු විසින් රුපියල් 25,000ක මුදලක් ලබාදී මෙම හොරකම හසු නොවන්නට දේවාලයකට බාරයක් වන ලෙස පවසා ඇතැයි පොලිසිය පැවැසීය.
මෙම සැකකරුවන් හතර දෙනා පසුගියදා (18දා) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කුලියාපිටිය කොට්ඨාස පොලිස් අධිකාරි ඩිෂාන් හේවාවිතාරණ හා සහකාර පොලිස් අධිකාරි 3, නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමනායක මහතා, පොලිස් සැරයන් ජයකොඩි (52609), පොලිස් සැරයන් පියරත්න (20626), පොලිස් සැරයන් සෙනවිරත්න (33604), පොලිස් සැරයන් සිල්වා (10164), පො.කො. චමිල (37525), පො.කො. ජයමහ (40124), පො.කො. ආනන්ද (49077), පො.කො. වීරසේකර (35826), පො.කො. සුබාස් (36232), පො.කො. පියශාන්ත (36230), පො.කො. මධුසංඛ (74898) ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon