සිල්රෙදි බෙදුවාට දුන් සිර දඬුවම ඉවත දමන්නැයි ඉල්ලූ පෙත්සම් විභාගය නොවැම්බර් 26දාට කල් යයි

  👤  2768 readers have read this article !
By mawbima 2018-10-22

කමල් මහේන්ද්‍ර වීරරත්න

බෞද්ධ උපාසක උපාසිකාවන් හට සිල්රෙදි බෙදාදීම සඳහා 2014දී රාජ්‍ය මුදල් රුපියල් කෝටි 60ක් වියදම් කිරීමෙන් රාජ්‍ය මූල්‍ය අවභාවිතයක් සිදුකර ඇතැයි නීතිපතිවරයා විසින් 2015දී ගොනුකළ චෝදනාවට වරදකරුවන් කොට වසර 3 බැගින් බරපතළ සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් විසින් එකී තීන්දුවට එරෙහිව ගොනුකොට ඇති අභියාචනා විභාගය නොවැම්බර් මස 26 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

දීපාලි විජේසුන්දර හා අචල වෙංගප්පුලි යන ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.

එතෙක් මෙතෙක් පැවැති සෑම රජයක් යටතේම ක්‍රියාත්මක වූ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව මෙම බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීමේ පුණ්‍ය කටයුත්ත 2014දී ද සිදුකරන ලද බවත්, එහෙත් දේශපාලන ප්‍රතිවාදීන්ගේ පළිගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළ 'යහපාලන' රජය මෙලෙස මෙවැනි අභූත චෝදනා නඟමින් රාජ්‍ය නිලධාරීන්ටත්, රටේ ජනතාව අතර කීර්තියට පත් නායකයන්ටත් එරෙහිව නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනුව තමන් හටද මෙම නඩුව පරවන ලද බවත් නීතිපතිවරයාගේ වාචකය පමණක් පිළිගනිමින් මහාධිකරණය විසින් දෙන ලද මෙම තීන්දුව නීතියට පටහැනි බැවින් එය ඉවත දමා තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් දෙක යොමුකොට ඇත.

නීතිඥ සහන් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජේ‍යෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත්, අනූෂ පැල්පිට මහතාත් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon