ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්

  👤  3342 readers have read this article !
By mawbima 2018-10-21

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාකිරීම සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් බලයට පත්වූ රාජ්‍ය නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා 'ඉරිදා මව්බිම'ට ප්‍රකාශ කළේය.

රටේ පොදු මහජනතාවගේ පොදු යහපත සහ රටක් අරාජිකවී තිබෙන අවස්ථාවක ඊට මැදිහත්වීමේ අවශ්‍යතාව යන කරුණු දෙක උතුම්ම නීති සිද්ධාන්ත බවත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේ සිදුකිරීමට උතුම්ම නීති සිද්ධාන්තවලින් හැකි නිසා පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී දෙවැනිව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර තෙවැනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීිමක් කරන බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිතුමාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නොපමාව ක්‍රියා කළ යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හරින විට නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ප්‍රකාශ කිරීමටද ජනාධිපතිතුමාට බලය තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙවැනි තත්ත්වයක් ඇති වී රට අරාජික වූ විට ඊට විසඳුමක් ඉදිරිපත් නොකිරීම ඉතා බරපතළ අඩුවක් බවත්, රාජ්‍ය නායකයා වශයෙන් මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව එම හිඩැස පිරවීමට ජනාධිපතිවරයාට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් රට බේරාගැනීමට මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට තිබෙන එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීම බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ තමා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon