මහජන බැංකු-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල ඉවත් කිරීම

  👤  2875 readers have read this article !
By mawbima 2018-10-21

අධ්‍යක්‍ෂ මණ්ඩල තවමත් වැඩ

ජේ.ටී. ද සිල්වා

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද නියෝගයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වී ඇතත්, රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල එම නියෝගයට අනුව කටයුතු කර නැතැයි වාර්තා වේ.ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහද එම තනතුරින් ඉවත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

විෂය භාර ඇමැතිවරයාගේ නියෝගයකින් තොරව, රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල මෙසේ ඉවත් නොවී සිටින බවද දැනගන්නට ඇත.එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි "2 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව යටතේ කරන ලද යම් පත්කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද වෙනස් කරනු ලැබිය හැක්කේය" යනුවෙන් සඳහන් වෙයි.

රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝග පිළිපදින්නේ නැතිව තවදුරටත් තනතුරුවල රැඳී සිටියහොත් එම බැංකු දෙක ජනාධිපතිවරයා යටතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිගෙන්
නිර්දේශිත නම් ඉල්ලුවා

හර්ෂනී අර්සකුලරත්න

මේ අතර, එම බැංකු දෙකට අධ්‍යක්ෂ මණ්ඩලයක් එළැඹෙන සතිය තුළ තෝරා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්දේශ කරන නම් තමා වෙත දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

තවමත් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර නොමැති බවත්, ජනාධිපතිවරයා, තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් තමන් සතු අමාත්‍ය බලය පාවිච්චි කොට මේ බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඇමැතිවරයා පැවැසුවේය.

කෙසේ වෙතත් පවත්නා නීති විධිවිධානයන්ට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩල ධුර කාලය අවසන් වී ඇති අදාළ රාජ්‍ය ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යවරයා වෙත උපදෙස් දී ඇති බව එම අමාත්‍යාංශය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon