කල්පිටියෙන් ළඟදීම ගුවන්ගත වන බණ්ඩාරනායක විදුහලේ ගිහාන්ගෙ රොකට්ටුව

  👤  2701 readers have read this article !
By mawbima 2018-10-21

පසුගිය 13 වැනිදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති 'එක්ස්බෑන්' ප්‍රදර්ශනයේදී එම විද්‍යාලයේ සිසුවකු විසින් නිර්මාණය කරන ලද රොකට්ටුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයට යොමු විය.

මෙම රොකට්ටුව නිර්මාණය කර තිබුණේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන ගිහාන් හෙට්ටිආරච්චි නම් සිසුවාය. කිලෝමීටර 20 පමණ දුරකට යා හැකි මෙම රොකට්ටුවට මෙරට නව නිපැයුම් කෙරෙහි අවධානය යොමු කරන තවත් එක් පුරවැසියකුගේ හපන්කමකි.

ජනාධිපතිවරයා මේ සිසුවා සමඟ කතාබහ කළ මොහොතේ දැන ගන්නට ලැබුණු අනෙක් ශෝචනීය කාරණය වූයේ ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබා ගැනීමට තැත් කළ සෑම අවස්ථාවකදීම පසුතැවීම මිස ධෛර්යය නංවන සහයෝගයක් කිසිදු නිලධාරියකුගෙන් නොලැබුණු බවය.

මේ කාරණය තේරුම් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට කීවේ ඔබ රොකට් එක යැවීමට සූදානම් වන්න. සියලු දේ මා දෙන්නම්. ඒ අවස්ථාවට මා එන්නම් කියාය. දැන් ගිහාන් ඒ සම්බන්ධව සියලු ගනුදෙනු කටයුතු සිදු කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහාය.

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා මේ ආකාරයට රොකට්ටුවක් ගුවන් ගත කිරීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකාවේ පළමු පාසල් රොකට්කරුවා පිළිබඳ තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය.

මේ රොකට්කරුවා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පද්මජීව ගනේපොළය. ඔහු දැන් මහාචාර්යවරයෙකි. ඔහු වර්තමානයේ සේවය කරන්නේ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඇති වැලී රෝහලේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේය. එහි අධ්‍යක්‍ෂවරයා ඔහුය.

එදා නාලන්දාවේ පද්මජීව ගනේපොළ සිසුවා විසින් නිර්මාණය කළ රොකට්ටුව ගුවන් ගත කළේ 1959 පෙබරවාරි 04 වැනිදාය. එනම් නිදහස් දවසකය.

එහි ඇති අනෙක් විශේෂතාව වූයේ ඉන් වසර 10කට පසු එනම් 1969 ජූලි 21 වැනිදා ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් ඇපලෝ 11 සඳ තරණ මෙහෙයුම මූලික කොටගෙන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් ක්‍රියාත්මක වීමටත් පෙර අපේ ආඩම්බර සිසුවා ඒ විද්‍යාත්මක පසුබිමට අත ගසා තිබීමය.

1959 වසරේදී සිදුවූ මෙම ඓතිහාසික සිදුවීමට එදා උදව් කළේ එවකට අගමැතිව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ය. ඊට රජයේ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියාකාරී ලෙස කටයුතු කළේ ඇමැති සී.පී. ද සිල්වා මහතාය. එමෙන්ම නාලන්දාවේ එවකට විදුහල්පතිව සිටි එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා සහ ගුරුවරයකු ලෙස සේවය කළ ඒ.ටී. ආරියරත්න මහතා ඇතුළු බොහෝ විද්වතුන් පිරිසක් පෙර කී සිසුවාට උදවු කර තිබිණි.
එදා මේ ගුවන් ගත කිරීම සියැසින් දුටු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ එමෙන්ම ප්‍රවීණ ක්‍රීඩා විචාරක පාලිත පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දක්වා තිබුණේ මෙවැන්නකි.
'මේ ඓතිහාසික අවස්ථාව බලන්න බොහෝ දෙනකු පැමිණ සිටියා.

'අට්ටාලයක් මත තිබූ මෙම රොකට්ටුව හරියටම රෑ 12ට ගුවන් ගත කළා.' විශාල හඬක් සහ දුමාරයක් එක්ක යාර 100ක් විතර උඩට ගිය රොකට්ටුව රවුම් කිහිපයක් කැරකිලා බිමට වැටුණා.

'බිමට වැටුණු රොකට්ටුව පරීක්‍ෂා කර බැලුවාම අපි දැක්කා රොකට්ටුවේ පහළ කෙළවරේ තටුවලින් එකක් දැඩි උෂ්ණත්වය නිසා කැඩී බිඳී ගිහින් තියෙනවා.'

'ළඟ හිටපු හැමෝම පද්මජීවව බාදාගෙන ප්‍රීතියෙන් කෑගැසුවා. ඔල්වරසන් දුන්නා. ඇත්තටම එදා සිසුන්ටත් ලොකු විද්‍යා ඥානයක් තිබුණා.

'අද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් සිසුවත් එවැනි හපන්කමක් කරන්න සූදානම් වෙනවා. අපි ඔහුට සුබපැතිය යුතුයි.'
මහාචාර්ය පද්මජීව ගනේපොළ මහතාගේ අඩි පාරේ ගමන් කරමින් වර්තමානයේදී කිලෝමීටර් 20ක් දුර රොකට්ටුවක් යැවීමට සූදානම් වන මේ ගිහාන් හෙට්ටිආරච්චි නම් සිසුවා කවුද?
දැන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

ගිහාන් පවුලේ එකම දරුවාය. පෞද්ගලික අංශයේ කළමනාකරුවකු වූ පුෂ්පකුමාර හෙට්ටිආරච්චි ගිහාන්ගේ පියාය. මව ගයාත්‍රි ලියනගේය. ඇය ගෘහණියකි.
ගම්පහ උෟරාපොළ පදිංචි ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි උපන්නේ 1999 වසරේදීය.

කුඩා කල උෟරාපොළ කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු ඉන් අනතුරුව ඇතුළු වන්නේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයටය. ඔහු එම විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අකුරු උගත්තේය.
'පුංචි කාලේ ඒ කියන්නේ 8 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන දවස්වල ඉඳන්ම මගේ හිත නව නිපැයුම්වලට යොමු වී තිබුණා. හැම දෙයක් ගැනම අවධානයට යොමු වුණා.

කොහොම හරි අ.පො.ස. සාමාන්‍ය පෙළ කරන කාලේ මම ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳව හදාරන්නත් පෙලඹුණා. ඔය කාලයේදීම දුරස්ථ පාලන ගුවන් යානාවක් නිපද වන්නත් යොමු වුණා.'
ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි රොකට්ටුවක් ගුවන් ගත කරීමට පෙලඹෙන අවස්ථාව දක්වා පැමිණෙන්නේ උසස් පෙළ කිරීම සඳහා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළු වීමත් සමඟය. එහිදී ඔහු ඉන්ජිනේරු තාක්‍ෂණ විද්‍යා විෂය දැනුම ලබන්නේ පෙර කී සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මුලපුරමින්ය.

මෙහිදී මම නව නිපැයුම් කිහිපයකට යොමු වුණා. ඒ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාකරන බහුකාර්යය ආරක්‍ෂක පද්ධතියක්, ජංගම ඡ්ඛ්ශ්‍රී යන්ත්‍රයක්, ඉහළ කාර්යක්‍ෂමතාවක් සහිත ජල සැලසුම් පද්ධතියක් ඒ අතර තිබුණා. මේ ආකාරයට නව නිර්මාණකරණයට යොමු වූ ගිහාන් අවස්ථා කිහිපයකදී රන් පදක්කම් ලාභියකු වීමටද වාසනාව ලැබුවේය. ඒ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සංවිධානය කළ ධ්දදධමඥ ථඪදඤ 2017 සහසක් නිපැයුම් 2017 හා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සංවිධානය 'පියුචර් ඩ්‍රීට්න්' සහ ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සම්මාන උළෙලේදී හා අන්තර් පාසල් තරගාවලි තුළිනි.

'මේ හැම ජයග්‍රහණයකින් පසුව තමයි මම රොකට් එකක් හදන්න සැලසුම් කළේ. මේ සඳහා මම නාසා ආයතනය සමඟ සබඳතා ඇති කර ගත්තා. ඔවුන්ගේ උපදෙස් ලබා ගත්තා. දැනටත් ඔවුන්ගේ පර්යේෂණ වෙබ් අඩවි ඔස්සේ මම තව තවත් මට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගන්නවා.'

ගිහාන්ගේ බලාපොරොත්තු තව මාසයකින් පමණ මෙම රොකට්ටුව කල්පිටිය ප්‍රදේශයේදී ගුවන් ගත කිරීමටය. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත් වීම ඔහු ඉතා ඉහළින් අගේ කරන්නට දෙවරක් නොසිතයි.

'මේ සම්බන්ධව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගිහාන්ට ලේකම්වරයකු හඳුන්වා දී තිබෙනවා. මේ වෙනුවෙන් සියලු ප්‍රතිපාදන ලබා දීමටද පොරොන්දු වී තිබෙනවා. ඇත්තටම මට ඒක ලොකු ධෛර්යයක්.... සතුටක්.
ගිහාන්ගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට අයත් රොකට්ටුවක් ගුවන් ගත කොට පර්යේෂණ කටයුතු සිදු කිරීමට හැකි පිරිස්වලට උදවු උපකාර කිරීමටය. එමෙන්ම මේ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද ඔහු අදහස් කර ඇත.

ගිහාන් තුළ ඇති මේ අධිෂ්ඨානය හා ධෛර්යය අප අගය කළ යුතුයි. ඔහුගේ දැනුම පෝෂණය කර ශ්‍රී ලංකාවට වාසිදායක වන ලෙස සේවයක් ලබා ගැනීමට බලධාරීහු වග බලා ගත යුතු වෙති. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවේ පළමු රොකට්ටුව යැවූ නාලන්දේ සිසුවාගේ සේවය මෙන්ම ඔහුගේ සේවය මේ මවුබිමට අහිමි වනු ඇත.

ලංකාවේ බොහෝ බුද්ධිමතුන් මෙරට හැර යන්නේ, එසේත් නැත්නම් බුද්ධිගලනය සිදුවන්නේ අලුත් විදියට හිතන බොහෝ උගතුන්ට වැඩක් කිරීමට තරම් පරිසරයක් මෙරට තුළ නැතිකමය. එය කවදා කෙසේ ක්‍රමානුකූලව සිදුවේ දැයි කිසිවකු දන්නේ නැත. අහන්නට කෙනෙක් නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
සේයාරූ - සුසන්ත අබේරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon