අප අතැර ඔබ ගිය වග ලියා දැන්්විය නොහැක

  👤  2692 readers have read this article !
By mawbima 2018-10-21

මේ සටහන ලියන මොහොත වනවිට මහාචාර්ය අමරා රණතුංග සුව නින්දකය. ඔබ මේ සටහන කියවන විට ඇයගේ නිසල දේහය ආදාහනය කර අවසන්ය.

බුදු වදනේ සඳහන් ආකාරයට අප අතර සිටින ඇතැමුන් ජීවත් වුවත් මළවුන් වැනිය. ඒ අතර මිය ගියත් ජීවත් වූවන් ලෙස පෙනෙන කොටසක් සිටිති.

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය මියගියත් ජීවත් වන පින්වත් ගැහැනියකි. ගුරුවරියකි. ආදරණීය මවකි. එමෙන්ම ආදරණීය බිරියකි.

ඇය මේ ගමන් මඟ සාර්ථකව නිමා කළේ දැඩි පරික්‍ෂාවකින් යුතුවය. කැපවීමකිනි. ඇයට කරන ගෞරවයක් ලෙස අප ඒ යටගියාව හාරා අවුස්සා ඔබ වෙත දිග හැරිය යුතුය.

අමරා රණතුංග උපන්නේ හංවැල්ලේය. ඇයගේ පියා ‍ෙදාන් විනෝලිස් කස්තුරිආරච්චිය. ඔහු හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ හිටපු විදුහල්පතිය. මව ගෘහණියකි.

11 දෙනකුගෙන් යුත් පවුලක අමරා දැරියට හිමි වූයේ 5 වැනි ස්ථානයයි. සංගීතයට බෙහෙවින් ඇලුම් කළ පවුලක් ලෙස ප්‍රකටව සිටි කස්තුරිආරච්චි පවුලේ බොහෝ දෙනකුට ගායන හැකියාව පවා මනා ලෙස තිබිණි.
1939 අගෝස්තු මස 22 වැනිදා මෙලොව එළිය දුටු දෝන අමරා කස්තුරිආරච්චි, දයාරත්න රණතුංගයන් සමඟ විවාහ වූ පසු අමරා රණතුංග වූවාය.

දයාරත්න - අමරා හමුවන්නේ කුඩා අවධියේදීමය. ඒ ආචාර්ය ලයනල් එදිරිසිංහ සහ ආනන්ද සරත් විමලසිරි යන මහත්වරුන්ගේ සෙවණේ සංගීත විෂයයෙන් පෝෂණය වෙද්දීය. මේ දෙදනා ළමා කාලයේදීම ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වන්නේත් ඔවුන් දෙපළට පින් සිදු වෙන්නටය. අමරා ගුවන් විදුලියට එන්නේ වයස අවුරුදු 10දීය.

ඇය කුසලතා පූර්ණ අපූරු දරුවකු වූ නිසාම වයස අවුරුදු 12දී බාහිර සිසුවියක ලෙස රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලබන්නේ ඇය එම විද්‍යාලයේ ආරම්භක සිසුවියක ලෙස වාර්තා තබමිනි.
වසර 6ක කාලසීමාවක් තුළ රජයේ සංගීත විද්‍යාලයේ සුවිශේෂී සිසුවියක් ලෙස වර්ණ ගැන්වූ ඇය තුළ තිබූ තවත් සුවිශේෂී කාරණයක් වන්නේ එකදු දිනයක්වත් මඟ නොහැර ඉගෙනීමේ කටයුතු කිරීමට තිබූ කැමැත්ත නිසාමය.

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය වැඩිදුර සංගීතය හැදෑරුවේ ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයෙනි. එහි මහාචාර්ය අඪබඹඪඬ ඉචදරචත යටතේ ඉපැරැණි විශිෂ්ට ගායන සම්ප්‍රදායත්, ආචාර්ය ඛ්ඩඪබබච අචදණචද බ්රධබඩඪඵඩ නම් වූ සුවිශේෂී ආචාර්යවරයා යටතේ ම්ඩරචත ගායනයත් ප්‍රගුණ කිරීමේ භාග්‍ය උදාකර ගත්තාය.

සැබැවින්ම අමරා රණතුංග නම් වූ විශිෂ්ට ගායන ශිල්පිනියගේ් පරම්පරාවේ බොහෝ ශිල්ප ශිල්පිනියන් ඉන්දියානු සංගීතය ප්‍රගුණ කළේ මේ කුසලතාවය ලැබිය යුතු නිසාමය. වර්තමාන සංගීත ශිල්පීන් බහුරයක් තුළ නැති මේ කැපවීම ඔවුන් එදා කළේ කරන දේ හරි හැටි කිරීමට තිබූ ඕනෑකම නිසාමය.

"අපේ හිතවත් අමරා සම්පූර්ණයෙන්ම කැපවී සිටියේ ශාස්ත්‍රීය සංගීත ඉගැන්වීමේ හා ඒ සම්බන්ධව ඇති විෂය කරුණුවලට දැඩි අවධානයක් යොමු කරමින් ..
මෙවැනි ශිල්පීන් දුර්ලභයි.."

වරක් එසේ කීවේ ඇය සමඟ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින වත්මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් වූ ගාන්ධර්වයාය. අමරා රණතුංග නම්වූ මේ විශිෂ්ට සංගීත ශිල්පිනිය කථිකාචාර්යවරිය, ඒ නිසාම ගැයූ සරල ගී ප්‍රමාණය අල්පය. නමුත් ඒ සියලුම ගීත රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් බව නම් කිව යුතුමය.

"මහ රෑ යාමේ, කාංචනා, එක කිරුළක් පලඳින්නට බෑ, ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ, සපුමල් සුවඳක් සේ, සැලළිහිණියෝ නුඹ දන්නේ නෑ" ආදී ගීත ඒ අතර තිබිණි.

වර්ෂ 1964 දී ආචාර්ය දයාරත්න රණතුංගයන් සමඟ විවාහ වූ ඇය තම විවාහ දිවියේ 54 වැනි වසර සපුරා තිබීමද විශේෂත්වයකි. ඒ කාලය තුළදී ඇය පුතුන් දෙදෙනකුඵ හා එක් දියණියකගේ මවක් වූවාය.

මහාචාර්ය අමරා රණතුංග මෙරට ප්‍රථම සංගීත විෂයයට අදාළ මහාචාර්යවරියයි. ඇය මේ ගමන අරඹන්නේ 1964 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙස වැඩ භාර ගැනීමෙන් පසුවය. එම විශ්වවිද්‍යාලයේ ගායන අංශයක් ඇරඹීමේ ගෞරවය හිමිවන්නේද ඇයටය. ඇය මෙරට පමණක් නොව විදෙස් රටවල විශ්වවිද්‍යාලවලද ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධව සිටියාය. ඒ අතරින් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය සංගීත ආචාර්යවරියක් ලෙස කටයුතු කිරීම කැපී පෙනිණි. ඇය එලෙස 1997 සිට 2001 දක්වා උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය මෙන්ම ශ්‍රී ලංකාවේ ජන ගී සහ ශාන්ති කර්ම පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදු කළාය.

විටෙක ඇය මෙන්ම ආචාර්ය දයාරත්න මහතාද භාරත මිත්‍ර සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දියානු රජයෙන් පිරිනමන ගෞරවයට හිමිකම් කීමෙනි. අඩසිය වසකට වැඩි කාලයක් භාරත සංගීතය වෙනුවෙන් කළ සේවය උදෙසා ඉන්දීය 55 වැනි නිදහස් සැමරුම් උළෙලේදී ඒ සම්මානය ඔවුන්ට හිමිවිය.

මහාචාර්ය අමරා රණතුංග සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ග්‍රන්ථකරණයේද නිරතව සිටියාය. ඒ අතර අමරා ගීත, සරස සම්භාව, සෞන්දර්යය අවබෝධය හා සම්භාව්‍ය සංගීතය වැනි ග්‍රන්ථ තිබිණි.
මියයන විට 79වැනි වියේ පසුවූ මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූවේ හෘදයාබාධයක් වැලඳීම හේතුකොටගෙනය. අවසානයේදී ඇය ඒ පරිශ්‍රය තුළදීම අවසන් සුසුම් හෙළුවාය.

වර්තමානයේ අන් සංගීත ක්ෂේත්‍ර තුළ බඩ පිනුම් ගසන්නේ සංගීතයේ සප්ත ස්වරයවත් හරි හැටි සුගායනය කළ නොහැකි පිරිසය. ඔවුන් අතර මහාචාර්ය අමරා රණතුංග වැනි දැවැන්ත සංගීත වෘක්ෂ අංකුර සංගීත ශිල්පීන්ට ආදර්ශයකි.

ඇය සපුමල් සුවඳක් සේ ආදරණීය ලෙසින් රසික හදවත්වලට ඇතුළු වූවාය. සංගීත ක්ෂේත්‍රයේ කිරුළක් පලඳින්නට තරම් වාසනාවන්ත වූවාය. එමෙන්ම මහ රෑ යාමේ අප කිසිවකු නොසිතූ මොහොතක ඇය අප හැර ගියාය. ජීවිතය එයයි. යථාර්ථය එබඳුයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon