ජීවිතය ලබා දුන් පිය සුවඳ දැනි දැනී කේසර සිංහයා සොම්නසේ රස විඳී

  👤  2867 readers have read this article !
By mawbima 2018-10-21

සපුමල් ජයසේන

සිංහයකු යනු බල්ලකුව, පූසකුව මෙන් අතපතගාමින් සුරතල් කළ හැකි සතකු නොවේ. සත්ත්වෝද්‍යානයක රඳවා සිටින සිංහයකු කොටු කර තැබීම නිසා වඩාත් ප්‍රචණ්ඩකාරී විය හැකිය. එලෙස සත්ත්වෝද්‍යානයක සිටින සිංහයකු අසලට යන්තමින් හෝ සමීප විය හැක්කේ උදේ සවස උෟට ආහාරපාන ලබාදෙන රැකබලා ගන්නාට පමණි.

එසේ නමුත් පසුගිය දිනක හම්බන්තොට රිදියගම සෆාරි සත්ත්වෝද්‍යානයේ සිටින හොඳින් වැඩුණු කේසර සිංහයකුව අතපතගාමින් උෟව සුරතල් කරන පිටස්තර නරඹන්නකුව දුටු සංචාරකයෝ භිරාන්ත වූහ. කූඩුවට අත දමා සිංහයාගේ හිස, බෙල්ල, පිට, පිරිමැදීමට පටන් ගත් මේ නරඹන්නාට සිදුවිය හැකි අනතුර ගැන බියවූ එහි සිටි සංචාරකයෝ විමතියට පත් වූහ.

නමුත් සිදුවූයේ වෙනකකි. මොහොතක් වික්‍ෂිප්තව සිටි සිංහයා ප්‍රසන්න පෙනුමකින් යුත් මෙම නරඹන්නා සමඟ කෙළි සෙල්ලම් කිරීමට සැරසිණි. කුඩා දරුවකු කලකින් තම ආදරණීය පියා දුටු විට හැසිරෙන ආකාරය සිහි ගන්වමින් සිංහයා ඔහු සමඟ සුරතල් වීමටත් දඟලන්නටත් පටන් ගත්තේය.

මුලදී එහි සිටි පිරිස මෙයින් පුදුමයෙනුත් පුදුමයට පත් වූහ. මෙය මෙලෙස සිදුවන්නේ කෙසේ දැයි පසුව ඔවුහු ගැටලුවකට මැදිවූහ. අන්තර්ජාලය ඔස්සේ පවා ප්‍රචාරය වූ මෙම සිදුවීමේ වැඩිදුර විස්තර දැනුවත් වීමෙන් බොහො දෙනෙක් සංවේදී වනු ඇතැයි සිතුවෙමු.

මීට වසර පහකට හයකට පමණ පෙර දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සිංහයන්ගේ හිඟයක් ඇති විය. ගැහැනු සතුන් පැටවුන් බිහි නොකළේ වයස්ගතව සිටි බැවිනි.

එවකට එහි සිටි පිරිමි සිංහයෝ ද වයෝවෘද්ධව සිටියහ. වැඩිමහලු වැහැරුණු සතුන් ප්‍රදර්ශනයට තැබීම නිසා උද්‍යාන බලධාරීහු විවිධ පාර්ශ්වයන්ගේ දෝෂාරෝපණයට ලක්වෙමින් සිටියහ. එයට පිළියමක් ලෙස සත්ත්ව හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් දකුණු කොරියාවේ සෝල් සත්ත්වෝද්‍යානයෙන් "තෝර්" නමැති පිරිමි සිංහයකුද ජර්මනියේ හාගන්බර්ග් සත්ත්වෝද්‍යානයෙන් "ෂීනා" නම් වූ ගැහැනු සතකුද ගෙන්වන ලද අතර එම සත්තු දෙදෙනාම නව යෞවන වියේ පසු වූහ. සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය ඒ වන විට කටයුතු කළේ අතිරේක මෙහෙයුම් අධ්‍යක්‍ෂවරිය ලෙසයි.

ඇයගේ උපදෙස් මත මෙම තරුණ සිංහ ජෝඩුව යොදා ගනිමින් පැටවුන් බෝකිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැඟිණි. එහි ප්‍රතිඵලයක් ලෙසින් 2014 වසරේ පෙබරවාරි 05 වැනි දින "තෝර්"ට දාව "ෂීනා" සිංහ පැටවුන් හතර දෙනකුව බිහි කළාය. නියඟය හමාර කරමින් වැසි ලැබුණා සේ බොහෝ කලකට පසුව උද්‍යානය තුළ සිංහ පැටවුන් උපත ලැබීම නිසා එහි සේවක කාර්ය මණ්ඩලය උද්දාමයට පත් විය. එදින හිමිදිරියේ උපත ලද පැටවුන් දැක බලා ගැනීමට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහුද එම ස්ථානයට පැමිණියහ.

පැටවුන් සිවුදෙනා වෙනම ගුළි ගැසී සිටින ආකාරයත්, මවු ධේනුව උන්ව මඟහැර යන ආකාරයත් දුටු සතුන් භාරව සිටි සේවකයා කලබලයට පත් වූයේය. ඉතා කලාතුරකින් මවු ධේනුව පැටවුන්ට කිරි ලබාදීම ප්‍රතික්‍ෂේප කරන අවස්ථා ඇත. මෙහිදී සිදුවෙමින් තිබුණේද එවැන්නකි.

පැය කිහිපයක් ඉක්ම යද්දී එක් පැටවෙක් මිය ගියේය. මෙවැනි අවස්ථාවලදී මවගෙන් පැටවුන් වෙන්කරගෙන උන්ට 'ලයන් මිල්ක්' නමින් හැඳින්වෙන විශේෂ පිටිකිරි වර්ගය ලබාදිය යුතුව තිබේ. අවාසනාවකට එම පිටිකිරි වර්ගය සත්ත්වෝද්‍යානයේ නොතිබුණු අතර විදේශයකින් ඇණවුම් කර ලංකාවට ගෙන්වා ගැනීමට සති තුනක් හෝ හතරක පමණ කාලයක් ගතවන බව අනාවරණය විය. එදින දහවල් වන විට පැටවුන් සිවු දෙනාගෙන් තිදෙනකුම මෙලොව හැරගොස් තිබිණි.

ත්වෝද්‍යාන බලධාරීහු නොසන්සුන්තාවකට පත්ව සිටියහ. කිරි බිඳුවක් නොලද මුත් තවමත් ජීවතුන් අතර සිටින අවසන් පැටවාගේ දිවිරැක ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවිණි.

ළදරු පිටිකිරි ලබාදීම, ඊරියකගෙන් කිරි ලබාදීම වැනි යෝජනා ඉදිරිපත් වුවද සිංහයකුට සමාන මාංස භක්‍ෂක සතකු වූ බැල්ලියකගෙන් කිරි උරාබීමට සැලැස්වීම වඩාත්ම සුදුසු විසඳුම ලෙස එහිදී තීරණය විය. මෙහිදී විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ සැර නැති දයාබර ගුණයෙන් මෙන්ම සුහදශීලීව හැසිරෙන ලැබ්රඩොර් නමින් හැඳින්වෙන බැල්ලියකගෙන් කිරි උරා බීමට සැලැස්වීම ප්‍රායෝගික බවයි. එමෙන්ම තෝරාගනු ලබන බැල්ලිය ඊට ආසන්න දිනයකදී පැටවුන් ප්‍රසූත කළ සතකු විය යුතු බවද වෛද්‍යවරු කියා සිටියහ.

අලුත පැටවුන් බිහි කළ ලැබ්රඩොර් විශේෂයට අයත් බැල්ලියක සෙවීමේ මෙහෙයුමක් වහ වහා දියත් කෙරිණි. මෙහිදී සත්ත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් වන ජගත් ජයසේකර, ගංගා විජේසිංහ සහ ප්‍රධාන සත්ත්ව පාලක අමිත පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ක්‍රියාත්මක විය.

පැය කීපයක් ඇතුළත මොරටුව ප්‍රදේශයේ නිවෙසක ඊට දින හයකට පෙර පැටවුන් බිහිකළ ලැබ්රඩොර් වර්ගයේ බැල්ලියක් සිටින බව සොයා ගැනීමට හැකි විය. වෘත්තියෙන් පරිගණක ඉන්ජිනේරුවකු වූ හේෂාන් මෙන්ඩිස් මහතා ෂෙලි නමැති එම බැල්ලියගේ හිමිකරුයි.

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීහු ජීවතුන් අතර ඉතිරිව සිටි පැටවා උපක්‍රමශීලීව සිංහ ධේනුවගෙන් ඉවත් කර ගත්හ. ඒ අතර තවත් නිලධාරි කණ්ඩායමක් හේෂාන් මෙන්ඩිස් මහතා හමුවී සාකච්ඡාවක නිරත වෙමින් සිටියේය. පැටවා ඔහුගේ නිවෙසට රැගෙන යෑමට සූදානම් කෙරිණි. නමුත් රටේ පවතින නීතිය අනුව සිංහ පැටවකු නිවෙසක රඳවා තැබීම තහනම් විය. එවකට සිටි සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුර සිල්වා මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව මෙන්ඩිස් මහතා මෙම කටයුත්තට මැදිහත්වී උදවු කිරීමට කැමැත්ත පළ කළේය.

උද්‍යානයේ උපත ලැබූ සිංහ පැටවා හේෂාන් මෙන්ඩිස් මහතාගේ නිවෙසට රැගෙන යන විට එදින රාත්‍රි හත පමණ වී තිබිණි. ඒ වන විට ඉතාමත්ම දුර්වල තත්ත්වයක සිටි සතා ජීවත් කරවීමට හැකි වෙතැයි කිසිවකු සිතුවේ නැත. පැටවා එම නිවෙසට රැගෙන ගියේ කිසිවකුටත් නොදැනෙන ලෙස හොර රහසේය.

සිංහ පැටවාගේ හැඩරුව වැඩුණු පූසකුට සමාන විය. දේහ ප්‍රමාණය බලු පැටවකුට වඩා විශාලය. විශේෂයෙන්ම පැටවුන් සිටින බැල්ලක් තමන්ගේ පැටවුන් අසලට පැමිණෙන වෙනත් සතකුට පහර දීමට පෙලඹෙන්නේ නිතැතින්මය. පණ අදිමින් සිටි සිංහ පැටවා ෂෙලි බැල්ලියගේ තන පුඩු අසලට ළං කළ විට ඇය ගෙරෙව්වාය. මෙන්ඩිස් මහතා උෟව අනෙකුත් බලු පැටවුන් සමඟ කලවම් කොට උන්ගේ ඇඟට ඇඟ ගෑවෙන ලෙස තබා ඒ පැටවුන්ගේ ඉව ගඳ සුවඳ මේ පැටවාට ලබා දෙමින් දරන ලද උත්සාහය ද අසාර්ථක විය.

පැටවා එහි තබා සත්ත්වෝද්‍යාන නිලධාරීන් ආපසු හැරී ගියේ ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවද සුංකරගත් අයුරිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණි. නිසොල්මන් වූ සිංහ පැටවාගේ දෙනෙත්ද පිය වී උෟ සිය ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය ගෙවා දමන ආකාරය දුටු හේෂාන් මෙන්ඩිස් මහතාගේ දෙනෙතින් ක½දුළු රූරා වැටිණි. වේලාව රාත්‍රි ‍ෙදාළහට පමණ වන්නට ඇත. ෂෙලි බැල්ලිය පැටවුන්ද සමඟ තද නින්දකට වැටුණාය.

මෙන්ඩිස් මහතා මළ කඳක් මෙන් සිටි සිංහ පැටවාගේ මුව බැල්ලියගේ තන පුඩු අසලට ළං කළේ ඉතා සෙමිනි. ෂෙලීට ඇහැරුණේ නැත. පැටවා ඇස් පියාගෙනම යාන්තමින් කිරි උරාබොන ආකාරයක් දිස් විය. මෙන්ඩිස් මහතාගේ සිතට සියුම් සතුටක් මෝදු වන්නට විය. පැය දෙකකට පමණ පසු අලුයම දෙකට පමණ අවදි වූ ෂෙලි සිංහ පැටවාව ආදරයෙන් ලෙව කන්නට පටන් ගත්තාය. මෝදු වෙමින් තිබූ ඔහුගේ සතුට දෝරේ ගලා ගියේ ඒ මොහොතේදීය. ෂෙලි බැල්ලිය විසින් සිංහ පැටවාද තමාගේම පැටවකු ලෙසින් පිළිගනු ලැබ තිබේ.

පසුදා සත්ත්වෝද්‍යාන නිලධාරීන් මොරටුවේ නිවෙසට පැමිණියේ මියගොස් සිටි පැටවාගේ සිරුර ආපසු රැගෙන යෑමේ අරමුණ සිතැතිවය. බලු පැටවුන්ද සමඟ සිංහ පැටවා බැල්ලියට තුරුලුවී කිරි බොන ආකාරය දුටු ඔවුහු අමන්දානන්දයට පත් වූහ.

දින සති ලෙසින් කාලය ගෙවී ගියේය. සිංහ පැටවා මොරටුවේ නිවෙසක ඇති දැඩි වන බව දැන සිටියේ එම නිවැසියන් සහ සත්ත්වෝද්‍යානයේ නිලධාරීන් කිහිපදෙනකු පමණි.

සිංහ පැටවා ෂෙලීට තුරුලු වෙමින් හුරතල් වූයේ ඇය උගේ මව යැයි සිතමිනි. ෂෙලී බැල්ලිය ඇගේ පැටවුන්ටද වඩා සිංහ පැටවා සමඟ දැඩි සෙනෙහසකින් යුතු බැඳීමක් ඇතිකර ගත්තේ ඇයි දැයි සියල්ලන්ටම අදටත් ගැටලුවකි. සිංහ පැටවාට අලුත් මවක මෙන්ම අලුත් පියකුද ලැබී තිබිණි. පියා වෙන කවරකුවත් නොව හේෂාන් මෙන්ඩිස් මහතායි. ඒ වන විට දරුවන් නොසිටි මෙන්ඩිස් මහතාත් ඉඩක් ලද හැම විටම සිංහ පැටවාව තම දරුවකු ලෙස සිතා සෙනෙහසින් තුරුලු කර ගනිමින් ආදරය දැක්වීය. සති තුනක් ඉක්ම යද්දී ඕස්ට්‍රේලියාවෙන් ඇණවුම් කර තිබූ 'ලයන් මිල්ක්' කිරිපිටි වර්ගය සත්ත්වෝද්‍යානයට ලැබී තිබිණි.

බලු පැටවුන් සමඟ කෙළි දෙළෙන් සෙල්ලමෙන් කාලය ගත කළ සිංහ පැටවාව නැවත රැගෙන යෑම සඳහා සත්ත්වෝද්‍යාන නිලධාරීන් එම නිවෙසට පැමිණි දිනය ෂෙලී බැල්ලියගේ මෙන්ම මෙන්ඩිස් මහතාගේත් සිත් පෑරූ දවසක් විය. සිංහ පැටවා රැගෙන යන විට එයට තද විරෝධයක් පෑ බැල්ලිය ඉන් අනතුරුව දින දෙකක් ඉක්ම යනතුරුම නොකා නොබී වැතිර සිට තිබේ. එදින මෙන්ඩිස් මහතාගේ දෙනෙතේ ද කඳුළු පිරී තිබිණි. සත්ත්වෝද්‍යානයට රැගෙන ගිය පැටවා දඟකාරයකු වූ බැවින් උෟට "චණ්ඩි" යන නම ලියාපදිංචි විය. මෙන්ඩිස් මහතා අඩු තරමින් මාසයකට දෙතුන් වතාවක්වත් දෙහිවල සත්ත්වෝද්‍යානයට ගොස් "චණ්ඩි' සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියේය. උගේ පළමු උපන් දිනය සැමරීමට ද එහි යෑමට ඔහු අමතක නොකළේය.

පසුව චණ්ඩි රිදියගම සෆාරි සත්ත්වෝද්‍යානයට රැගෙන යනු ලැබිණි. මෙන්ඩිස් මහතා කොළඹ කාර්යබහුල ජීවිතයකට කොටුවී සිටියේය. වසර කිහිපයකට පසුව හෙතෙම හම්බන්තොට රිදියගම සත්ත්වෝද්‍යානයට ගිය අවස්ථාවකදී ඔහුට ඔහුගේ චණ්ඩි පුතා හමුවිය. ඒ වන විට චණ්ඩි හැඩිදැඩි කේසර සිංහයෙකි.

මෙන්ඩිස් මහතා දුටු කූඩුවේ මුල්ලක වැතිර සිටි සිංහයා නැඟිට ඔහු අසලට පැමිණි අතර හෙතෙම යකඩ කූරු අතරෙන් දෝතම කූඩුව තුළට දමා උෟව බදා ගත්තේය. මොවුහු දෙදෙනා මිනිත්තු තිහකට අධික කාලයක් යකඩ වැට දෙපස සිටිමින් එකිනෙකාව අතපාත ගාමින් සෙනෙහස බෙදා ගත්හ. එදින මෙන්ඩිස් මහතා චණ්ඩි සිංහයාට සමුදෙන ආකාරය දුටු සත්ත්වෝද්‍යාන නිලධාරීන්ගේ දෙනෙත්ද කඳුළෙන් තෙත් වී තිබිණි.

 

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon