ඉපදීමත් සැකයැයි ‍ෙදාස්තරවරු කියපු ඒත් රටටම ගෞරවය ගෙනාපු සාගරයේ තරුව

  👤  2800 readers have read this article !
By mawbima 2018-10-21

දිනය - 2001 - 05 - 28

වේලාව - පෙරවරු 7.00ට පමණ විය
ස්ථානය - කොළඹ ද සොයිසා
කාන්තා රෝහලයි

"අම්මේ ඔයාගේ දරුවා ගැන අපිට කිසිම විශ්වාසයක් තියන්න බැහැ. ඒක නිසා ඔයා හිත හදාගන්න" ද සොයිසා කාන්තා රෝහල් වාට්ටුවක ‍ෙදාස්තර මහතකු විසින් ගර්භණී මවකට ඇයගේ හිත නොරිදෙන ආකාරයෙන් එසේ කියන්නට වූයේ තව පැයකින් හෝ දෙකකින් මෙලොව එළිය දැකීමට සිටි දරුවාගේ ජීවිතයට වඩා මවගේ ජීවිතය වටිනා බව හා ඇය සිටින අසාධ්‍ය තත්ත්වය ඉතාමත් හොඳින් දැන සිටි හෙයිනි
.
වාට්ටුව භාර වෛද්‍යවරයා එසේ පැවැසුවද එම මවගේ එකම පිළිතුරු වූයේ "කමක් නැහැ ‍ෙදාස්තර මහත්තයෝ එනදේකට මම මුහුණ දෙනවා. දෙවි පිහිටෙන් එයා ඒවි" යන්නය.

වේලාව පෙරවරු 9.00 වෙනවාත් සමඟම වෛද්‍යවරු පවා මවිත කරමින් ඇය චූටි දුවක් මෙලොවට බිහි කළාය. "අපිට මේක අදහන්න බැහැ. අම්මා ඔය වගේ තත්ත්වයක ඉඳලාත් මේ වගේ දරුවකු හම්බ වුණු එක ගැන අපිට විශ්වාස කරන්න අමාරුයි. අම්මේ ඔයා හරි වාසනාවන්තයි" වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ මුවින් පිටවූයේ එවන් වදන් වැලකි.

යම් හෙයකින් වෛද්‍යවරු හා හෙදියන් සිතා සිටි අන්දමට සිදු වුණා නම් අප සියලු දෙනාට අද කතා කිරීමට පාරමී වසන්ති මාරිස්ටෙලා කෙනෙක් ඉතිරි වන්නේ නැත. අද මුළු රටක්ම ආදරය කරන එක රැයින් ලොවක් අවදි කරවන්නට සමත් වූ පාරමී වසන්ති පසුගියදා නිමාවට පත් යොවුන් ඔලිම්පික් උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත්ව සිටින්නේද දීර්ඝ කාලීනව ඇයට තිබෙන අසනීප තත්ත්වයෙන් සිට බව පාරමීගේ මව වන රීටා මාග්‍රට් "මව්බිම"ට සම්බන්ධ වෙමින් පැවැසුවාය.

"මම පාරමී හම්බවෙන්න ඉන්න කාලේදී අසනීප තත්ත්වයක් මතුවුණු නිසා ඉස්පිරිතාලෙට ඇතුළු වුණාම එතැන හිටිය ‍ෙදාස්තර මහත්වරු මාව පරීක්‍ෂා කරලා කිව්වා ඔයාගේ ලේ නහර සිහින් වෙන රෝගයකට ඔයා පත්වෙලා තියෙනවා. ඒක නිසා දරුවා ගැන හිතින් අත්හැරගන්න කියලා. දුව හම්බවෙන අවසන් කාලයේදීත් මගේ කටින් හා නාසයෙන් වතුර වගේ ලේ දාන්න ගත්තා. ඔය කාලේදි මගේ ඇඟේ ලේ නැති නිසා නැඟිටගන්නවත් පණ නැහැ. ඒත් එයා හම්බවුණාට පස්සේ "ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට වාසනාවන්ත දුවෙක් හම්බවෙලා තියෙන්නේ" කියලා ‍ෙදාස්තර මහත්වරු කිව්වහම මමත් මගේ මහත්තයා අන්තෝනි ටියුඩර් මේ දරුවාව කොහොම හරි හදාගන්නවා කියලා හිතාගත්තා"

කොහොම වුණත් ඇයගේ පාසල් ජීවිතයේ සිටම දැනගැනීමට අපිට වුවමනා වූ බැවින් පාරමීගේ අතීතය පිළිබඳවද ඇය මෙසේ ආ ගිය තොරතුරු දිගහැරියාය. "පාරමී පවුලේ බාලයා. එයාට නිශාන්ති දිල්හානි කියලා අක්කා කෙනකුයි, ක්‍රිෂාන්ත පැතුම් කියලා අයියා කෙනකුයි ඉන්නවා. පාරමී මුලින්ම පාසල් ගියේ හලාවත අඹකඳවිල විදුහලට. ඒ කාලෙදි එයා මීටර් 400, 800 ඉසව් දෙකෙන්ම ජයග්‍රහණ ලබාගත්ත නිසාත්, පාරමීගේ අක්කා කුලියාපිටිය මධ්‍ය මහ විදුහලට ගිය නිසාත් පාරමීත් කුලියාපිටියට විදුහලට දාගත්තා.

පොඩි කාලේ ඉඳලාම පාරමී එයාගේ අක්කා එක්ක මුහුදු වෙරළේ දුවලා නාගෙන ගෙදර එනවා. පාරමී දුවගේ පුහුණුකරු ජනිත් ජයසිංහ සර් කිව්ව නිසා දුව දියගම තිබුණු තේරීම් තරගාවලියකට සහභාගි වෙලා ජයගත්ත නිසා රුසියාවේ තරගාවලියට තේරුණා. ඒ තරගාවලියේදී මීටර් 3000 බාධක තරගයේදී රිදී පදක්කමකුත්, මීටර් 400×4 තරගයේදී ලෝකඩ පදක්කමකුත් දිනාගත්තා."

"ඔය කාලේදී (2017දී පමණ) පාරමී අසනීප වුණු නිසා අපි ඇයව විශේ්ෂඥ ‍ෙදාස්තර මහත්මයකු ළඟට ගෙනගියාම ඒ මහත්වරු පරීක්‍ෂණ ගොඩක් කළා. තැලිසීමියා තියෙනවාද කියලාත් පරීක්‍ෂණ කළා. ඒ පරීක්‍ෂණ කරලා අපිට කිව්වා පාරමීගේ ඇඟේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි කියලා. ඒ කියන්නේ දුවගේ ඇඟේ යකඩ හා විටමින් අඩුයි කියලායි ඒ ‍ෙදාස්තර මහත්වරු කිව්වේ. ඒ නිසා මාස 6ක් විතර බෙහෙත් බොන්න කියලා ඒ ‍ෙදාස්තර මහත්වරු කිව්වා. දුව යන සංචාර සඳහා දුවගේ ඉස්කෝලෙන් මුදල් සොයලා දෙනවා. ඒ වගේම අපේ පල්ලියේ පියතුමා දුව ගැන සොයා බලනවා.'
දුවගේ මේ වියදම් දැරුවේ කොහොමද?

"ඒක නම් ලොකු කතාවක්. මගේ මහත්තයා කළේ මුහුදු රස්සාව. ඒක නිසා අපි එදා වේල හොයාගත්තෙ හරි අමාරුවෙන්. මේ නිසා අපි ළඟ තිබුණු පර්චස් 30ක ඉඩම ලක්‍ෂ 4කට විකුණලා පාරමී දුවගේත් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පාරමීගේ අක්කාගේත් වියදම් ටික කලකට හරි දරාගත්තා. ඊට පස්සේ දැන් අපි මේ ඉන්න ගේ බැංකුවට උකසට තිබ්බා. ජපානයේ තිබුණු තරගය ජයගත්තට පස්සේ එංගලන්තයේ ඉන්න උපාලි කියලා මහත්මයෙක් දුව ගැන සොයා බලලා අපේ ගෙදර ඇවිල්ලා බැංකුවට ගෙවන්න තිබුණු මුදල් ටික ගෙවලා අපේ ගේ බේරලා දුන්නා. ඒ මහත්තයා එංගලන්තයේ ඉඳලා එනකොට පාරමීට සපත්තු ජෝඩුවක් ගෙනාවා. ඒ සපත්තු ජෝඩුව දාගෙන තමයි පාරමී මේ පාර යොවුන් ඔලිම්පික් තරගාවලියට ගියේ. ඒ මහත්තයා කරපු දේට අපි කොහොම ස්තුති කළත් මදි"

පාරමී වගේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවකගේ වියදම් වගේම ගෙදර වියදම් දරන එක ලෙහෙසි නැහැ. මේ නිසා ඒ ගැනත් අපි ඇයගේ මවගෙන් විමසුවා. "සුළු වැස්සක් ආවත් දිරලා තියෙන අපේ ගේ තෙමෙනවා. ඒ වගේම මුළු වත්තම යටවෙනවා. ඒ වෙලාවට එළියට බහින්නවත් අපිට බැහැ. ජපානයට ගිහින් ජයග්‍රහණය කරලා ආවට පස්සේ ජනාධිපතිතුමා පාරමී දුවගේ නමින් ලක්‍ෂ 15ක ගිණුමක් ආරම්භ කරලා දුන්නා. ඒ සල්ලි එයාට ගන්න බැරි වුණත් ඒ ලැබෙන පොලියෙන් තමයි පාරමී ටිකක් හරි ඔළුව උස්සලා ඉන්නේ. ඊට අමතරව 2020 ඔලිම්පික් යන තෙක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාස් පතා යම් මුදලක් දෙනවා කිව්වා"

කොහොම වුණත් පාරමීගේ සෑම දෙයක්ම පෙරටත් වඩා කරන්න වෙලා තියෙන්නේ ඇයගේ මවට නිසාත් පෙරටත් වඩා ඇය දුර්වල වී ඇති බව ආරංචි වුණු නිසාත් ඒ පිළිබඳවත් අපි ඇයගෙන් (මාග්‍රට්) විමසුවා.
"ඒක ඇත්ත. මට රස්සාවක් කරන්න බැහැ. මම එදා ඉඳන්ම ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ආයෙත් මම අසනීප වුණු නිසා මාව පරීක්‍ෂා කළ ‍ෙදාස්තර මහත්වරු කිව්වේ මම ආයෙමත් මුල සිටි අවස්ථාවට ඒ කියන්නේ නහර සිහින් වීමේ රෝගයේ මුල් අවස්ථාවටම ඇවිල්ලා කියලායි. මට මම ගැන දුක නැහැ මහත්තයෝ. ඒත් මගේ දරුවා ගැන කවුරු හරි බලනවා නම් මට ඒක ඇති.

පාරමී මේ ඉන්න තත්ත්වය කාටහරි තේරුම් ගන්න හැකි වෙලා දුවට උදවු කරන්න ඉදිරිපත් වෙනවා නම් මෙයට වඩා දෙයක් කරන්න දුවට පුළුවන් කියලා මම හොඳින්ම දන්නවා. එයා පොඩි කාලේ වින්ද දුක මම දන්නවා. ඒ සියලුම වේදනාවල් උහුලාගන්න තරම් ඇය ශක්තිමත් කියලාත් මම දන්නවා" කියා සඳහන් කරමින් මඳ වේලාවක් නිහඬව සිටියෙන් ඇය හඬන බව තේරුම් ගත් බැවින් හා පමණට වඩා වෙහෙසීම (විශේෂයෙන්ම කතා කිරීම) නවතා දමන ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කිරීම නිසාත් මම නිශ්ශබ්ද වීමි.

ලෝකයේ රටවල් 12ක් වැනි අඩු සංඛ්‍යාවක් සමඟ ක්‍රීඩා කරන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෝටි ගණන් මුදල් වියදම් කරන මොහොතක ලංකාවේ නාමය මුළු ලෝකයටම ගෙන යන පාරමී වැනි යොවුන් සම්පත් වෙනුවෙන් බලධරයන් හා වෙන කවුරුන් හෝ මෙයට වඩා අවධානයක් යොමු කරනවා නම් රට උකසට තබමින් මුදල් හම්බකරන ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා තම රට වෙනුවෙන් ලේ, දහදිය, කඳුළු හෙළන මෙවැනි ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට උදවු උපකාර ලබා දීම මෙරට ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කරනා විශාල ආයෝජනයක් බවද කිව යුතුමය.

විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon