දත් නැති කොටියෝ සිංහයන්ටත් ගොරවති

  👤  2727 readers have read this article !
By mawbima 2018-10-21

ශ්‍රී ලංකාව සමඟ එක් දින, ටෙස්ට් සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා මේ දිනවල එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇතත් ඔවුන්ට අමතරව එංගලන්ත ජාතිකයන් දෙදෙනකුද ඇතුළත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මහත්වරුන් හත්දෙනකුද ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටීම වෙනදා ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන විට තිබූ සාමකාමී පරිසරයට වඩා වෙනස් බවක් නිර්මාණය කර ඇත.

එයට හේතුව අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියකුද වන එහි සාමාන්‍යධිකාරි එංගලන්ත ජාතික ඇලෙක්ස් මාෂල් ඇතුළු හත්දෙනකුගෙන් සමන්විත සුදු මහත්වරුන්ගේ කණ්ඩායම එංගලන්ත කණ්ඩායම මෙවර පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ රඟපාමින් සිටින විවිධ ජවනිකාවන් නිසාය.

මෙසේ ජවනිකාවන් යැයි සඳහන් කිරීමට සිදුවී ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සති තුනක පමණ කාලයක් සිටිමින් හුදෙක්ම ඔවුන් විසින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සන්දර්ශන නිර්මාණය කරන ලද අවස්ථා හැර වෙනත් හරවත් දෙයක් ඔවුන්ටවත් අපිටවත් ඉතිරි කර නොමැති නිසාය. නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට දුවගෙන ආවේ ලංකාව තුළ සිටිනා සියලුම ක්‍රිකට් තරග දූෂකයන් පිළිබඳව තිබූ චෝදනා විභාග කොට අවසන් කර වැරැදිකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට එන මාංචු රැගත් පොලිස් නිලධාරීන් මෙනි.

නමුත් මහත්වරුන්ගේ ක්‍රීඩාව ගැන කතා කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාචාරය, ආචාරධර්ම හා ජීවගුණය යන කාරණාවන් පිළිබඳවද අනෙක් රටවලට බණ දෙසන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) මහත්වරුන් ශ්‍රී ලංකාවට වැදගත්ම තරගාවලියක් පැවැත්වෙන මේ අවස්ථාවේ ඒ දෙසට කඩාවැදීම කොතරම් සදාචාරාත්මක දැයි ප්‍රශ්න කිරීමට සිදුවනු ඇත. මොවුන්ගේ මෙම නොහොබිනා ගමන නිසා අද අවුල් වී ඇත්තේ එංගලන්තය සමඟ තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පමණක් නොවේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම මෙරට ක්‍රිකට්වලට ළැදි ප්‍රජාවගේද මනස විකෘති කිරීමට ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ මෙම කණ්ඩායමේ ගමන බෙහෙවින්ම බලපා ඇත.

පසුගිය මාස දෙකක පමණ කාලයක් ඉන්දියානු කණ්ඩායම එංගලන්තයේ සංචාරය කරන මොහොතේදී ඇලෙක්ස් මාෂල්ගේ නඩයට මෙවන් හදිසියක් තිබුණේ නැත.

ශ්‍රී ලංකාව ගැන හෝ වෙනත් තරග පාවාදෙන ඔට්ටුකරුවන් පිළිබඳව එංගලන්ත පිලට පාඩම් කියා දීමට උවමනාවක් තිබුණේ නම් එම කාලය තුළ එය ගෙදරදීම කරගැනීමට මෙකී දූෂණ මර්දකයන්ට ඕනෑ තරම් වේලාව සහ ඉඩකඩක් තිබුණි.

නමුත් එය එසේ සිදු නොකළේ ඉන්දියාවට ඇති බිය නිසාමය. හේතුව අයි.සී.සී. ය දැන් යැපෙන්නේත් ඉන්දියාවෙනි. ඒ අයි.සී.සී. යට ප්‍රබලම මූල්‍ය දායකත්වය සපයන රට නිසා හෝ එහි මහ පුටුව හොබවන්නාද ඉන්දියාවේ කෙනකු නිසාම නොවේ. ලෝක ක්‍රිකට් ප්‍රජාවෙන් තුනෙන් එකක් නියෝජනය කරන්නේ ඉන්දියාවද වන බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශන අයිතිය සහ සියලුම අනුග්‍රාහක ක්‍රියාකාරකම් ඇතුළු ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දියාව නොමැතිව තනි ගමනක් යෑමට අද අයි.සී.සී. යට අසීරු කරුණක් වී ඇත.

ඒ නිසා මීට මාසයකට පෙර ඉන්දියාවට හොඳින් බැට දුන් එංගලන්තය ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ පසුබසිනු දැකීම ඉන්දියාවේත් මෙකී සුදු මහත්වරුන්ගේත් අභිලාෂය නොවන බවද ඉතා පැහැදිලිය. තවත් විදියකට කිවහොත් එංගලන්තය ඉන්දියාවට කළ දේ ලංකාවටත් කරවීමට නිතරම අල්ලපු රටේ ආශීර්වාදය ලබන අයි.සී.සී. යේ අරමුණ වනු ඇත.

එසේ කියන්නට හේතු සාධක ඕනෑතරම් ඇත. ශ්‍රී ලාංකිකයන්ද සම්බන්ධ යැයි පවසමින් ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධීන්ට අදාළව අල්-ජසීරා රූපවාහිනිය විසින් විශේෂ වැඩසටහනක් මීට මාස තුනකට පමණ පෙර විකාශය කරන ලද අතර ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් අයි.සී.සී. ය දැන් පවසන්නේ ඊට අදාළ සංස්කරණය නොකළ දර්ශන තමන්ට ලබා නොදීම නිසා පරීක්‍ෂණ ඇනහිට ඇති බවයි.

ඊටත් වඩා විහිළුව වන්නේ එම අල්-ජසීරා කතා පුවතේ ප්‍රධාන චරිතය වූ අනීල් මුනාවර් යන අනුවර්ථ නාමයෙන් පෙනී සිටි ඉන්දියානු ජාතිකයා පිළිබඳව තොරතුරු ලබා දෙන්නැයි අයි.සී.සී. ය දැන් මහජනතාවගේ සහයෝගය ඉල්ලා සිටීමයි. පසුගියදා ඩුබායිහිදී පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මාධ්‍ය හමුවකට සහභාගී වූ ඇලෙක්ස් මාෂල් මහතා ඇතුළු පිරිසක් මේ බව පවසා සිටි අතර ඔවුන්ගේ එම ප්‍රකාශයත් සමඟම මතුවන ප්‍රශ්නය වන්නේ මෙහි පැමිණීමට පෙර එකී පුද්ගලයන් ගැන සෝදිසි කිරීමට ඉන්දියාවට නොගියේ ඇයිද යන්නය. ක්‍රිකට් තරග දූෂණයට ලක්කරන පුද්ගලයන් ඇත්නම් ඔවුන් ගැන සොයා දඬුවම් කළ යුතුය. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නොමැත. නමුත් කිවයුත්තේ ඒ සඳහා අයි.සී.සී. මහත්වරුන් ශ්‍රී ලංකාවට පැමිණි වෙලාව වැරැදිය.

මෙය එක් උදාහරණයක් පමණි. තවද එකී මාධ්‍ය හමුවේදීම අයි.සී.සී. ලොක්කන් කියා තිබුණේ තරග පාවාදීම්වලට චෝදනා ලත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් නායකයන් පස්දෙනකුගෙන්ද පසුගිය මාස 12ක කාලය තුළදී ප්‍රශ්න කළ බවයි. ඒ තුළ ශ්‍රී ලංකා නායකයකු සිටින බවද පැවැසේ. එසේම ගෙවී ගිය වසරක පමණ කාලය තුළ විමර්ශන 32ක් සිදුකළ බවත් ඉන් 23ක්ම සෘජුවම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන අතර ඒ තුළ සැකකටයුතු ක්‍රීඩකයන් අටදෙනකුට අදාළ විමර්ශන කළ බවත්ය.

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කරනවා යැයි කියන විමර්ශන කටයුතු ගැන තව ටික දිනකින් පසුව කියන්නේත් මීට සමරූපී කතාවක් විය හැකිය. හේතුව ශ්‍රී ලංකා අගමැති හමුවුණාය, ජනපති හමුවුණාය, අරයගෙන් ප්‍රශ්න කළාය, මෙයාගෙන් ප්‍රශ්න කළාය යනුවෙන් චෝදනා ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති මවනවා හැර නිශ්චිත කරුණක් හෝ නිශ්චිත පුද්ගලයෙක් කළ වරදක් ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමට මාෂල්ගේ නඩය කල්ගත කරමින් සිටී. ඒ නිසා මේවා ගැන අනවශ්‍ය ප්‍රකාශ කිරීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයාත් වැළැකී සිටිය යුතුය.

හේතුව දත් නැති කොටියා යැයි විරුධාවලිය ලත් අයි.සී.සී. ය ශබ්දයේ තරමට දඬුවම් දීමට අපොහොසත් පිරිසක් බවද ප්‍රසිද්ධ කරුණකි. ඒ නිසා මොවුන්ගේ හදිසි ලංකා ගමන හැමදාමත් ක්‍රිකට් ලෝක කුසලානයකට යෑමට පෙර ශ්‍රී ලංකාවට ලෙඩක් අදින පිරිසකගේ උත්සාහයක් හැර වෙනත් අරුතක් නොමැති දෙයක් විය හැකිය.

සිරිනාම රාජපක්‍ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon