ජනපතිවරණයට පරාජිතයන් යොදවලා අපට පරදින්න බෑ -ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර

  👤  2871 readers have read this article !
By mawbima 2018-10-21

පාලිත රංගෙ බණ්ඩාරටත් ඇමැතිකමක් ලැබුණ ගමන් මුඛවාඩම් වැටුණා නේද?

කිසිසේත්ම මුඛවාඩම් දාන්න හැකියාවකුත් නෑ. මුඛවාඩම් වැටිලත් නෑ. රාජ්‍ය අමාත්‍ය ධුරය මට ලැබුණෙ 2015 ජනවාරි ඉඳලා. දැන් අලුතෙන් ලැබුණ රාජ්‍ය අමාත්‍ය ධුරයන්. අපි යම් වෙනසක් කිරීම සඳහා සටනක් කළා. පොඩ්ඩක් දේවල් දිනාගත්තා. නමුත් ගොඩක් දේවල් දිනාගත යුතුව තිබෙනවා. දිගටම සටන් කර කර ඉඳලා වැඩක් නැති නිසා අවශ්‍ය වෙලාවට සටන් කිරීමයි කළ යුත්තේ.

නමුත් ඔබ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට එරෙහිව ප්‍රබලව හඬක් නැඟුවෙ?

තවමත් ඒ සියල්ල සංසිඳිලා නෑ, පොඩි පොඩි කරුණු කාරණා වගයක් සිද්ධ වුණාට. ඒ පිළිබඳව අපි සෑහීමකට පත්වෙන්නෙ නැහැ.

ඔය ප්‍රතිසංවිධාන කටයුත්ත තුළ දේශපාලන මණ්ඩල හැදුණත් නැවතත් ඔබ පක්ෂයේ නායකයා අත නේද සියලු දේ ක්‍රියාත්මක වෙන්නේ?

ඒ මුලින් අවස්ථාවේදීත් අපි කිව්වා අපි බලාපොරොත්තු වූ ප්‍රතිසංවිධානයක් සිදු වී නැහැ. මීට වඩා වෙනස් දෙයක් සිදු විය යුතුයි කියලා.

ඒ කියන්නේ ඔබේ සටන සාර්ථක නෑ?

කකුළුවටත් හත්වැනි සැරේටලු දැල් බැඳලා ගත්තේ. ඒ නිසා තව සටන් කරන්න ඕනෑ තරම් කල් තියෙනවා.

මේ වන විට ජනාධිපතිවරණය මාතෘකාව පිළිබඳව විවිධ කරුණු එළියට එමින් තිබෙනවා. 2010,2015 ත් ඔබලා එජාපෙන් අපේක්ෂකයක් ඉදිරිපත් කළේ නෑ. මේ වසරේවත් එජාප අපේක්ෂකයෙක් එළියට එයිද?

අනිවාර්යයෙන්ම ආයුතුමයි. ඒ ජයග්‍රාහී අපේක්ෂකයකු විය යුතුමයි. පරාජිතයෙක් යොදවලා ඉවර වෙලා අපිට පරාජය වෙන්න පුළුවන්කමක් නෑ.

ඔබ එජාපෙ පරාජිත අපේක්ෂකයෙක් යැයි හඳුන්වන්නේ කවුද?

පරාජිත අපේක්ෂකයකු ලෙස පුද්ගලයෙක් හැඳින්වූවේ නැහැ.

ටේ මතයක් තියන ජයග්‍රාහී පුද්ගලයෙක් යොදා ගත යුතුයි.

ඔබ ඔය කියන පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විය හැකිද?

මැතිවරණ දවස වෙනකොට අද අප්‍රසන්නම මිනිහා ප්‍රසන්නම මිනිහා වෙන්න පුළුවන්. අද ප්‍රසන්න මිනිහා එදාට අප්‍රසන්නම මිනිහා වෙන්න පුළුවන්. ඒක නිසා එදාට සුදුසු රටේ ජයග්‍රාහී මතය තිබෙන පුද්ගලයා එන්න පුළුවන්.

ඔබ මේ මොහොතේ සිටින අප්‍රසන්න පුද්ගලයෙක් ගැන සඳහන් කළා. යමකුට ඔබෙන් විමසිය හැකියි නේද ඒ අප්‍රසන්න පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාද කියලා. එවිට ඔබේ පිළිතුර කුමක්ද?

අප්‍රසන්න පුද්ගලයෝ ගණනාවක් ඉන්න පුළුවන්නෙ.

ඔබ බොහොම පරෙස්සමට උත්තර දෙන්නෙ ඇමැති ධුරය ගැස්සිලා යයි කියන බයටද?

අනේ ඉතින් ඕක නැති වුණා කියලා බඩගින්නෙ ඉන්නවද? මේක කන්න, ඉන්න යන්න වාහනයක් නැතිකමට කරන දෙයක් නෙවේනෙ. මේක තුළින් තෘප්තියක් ලැබෙනව. රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරනවා.

ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ මිනිස්සු පිළිඅරගෙන තියෙනවා රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැතිකම නුදුන්නට රාජ්‍ය ඇමැතිකමේ ඉඳගෙන හරි වැඩ කරනවා කියලා. ඒ නිසා මේකෙන් මට කරගන්න දෙයක් නෑ. මං මේකෙන් රටට යමක් කරනවා මිසක.

රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැතිකම නැතත් රාජ්‍ය ඇමැතිකමේ ඉඳගෙන හරි වැඩ කරන බව ඔබම සඳහන් කළා. ඔබ පැහැදිලි කලකිරීමකින් නේද පසුවෙන්නෙ?

ඔව්. බොහොම පැහැදිලිවම ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මගෙ ජේ‍යෂ්ඨත්වයයි, මගෙ කැපකිරීමයි, මගෙ හැකියාවයි මේ සියල්ල එක්ක මට එවැනි දෙයක් ලැබිය යුතු සේම මගෙ ජනතාවට ලැබිය යුතු දේ මේ නිසා නොලැබෙනවා. ඒක මගේ දිස්ත්‍රික්කයටම මගේ ජනතාවටම කරන අගතියක්. අගතියක් කියන්න ඒක ද්‍රෝහිකමක්.

ඒ කියන්නෙ ඔබේ පක්ෂය ඔබට ද්‍රෝහි වෙලා?

ඔව්. මම කැබිනට් එකේ හිටියා නම් මගේ ජනතාව වෙනුවෙන් මීට වඩා වැඩ කරලා තියෙයි.

ගියවර එජාපය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම ගැන ආපසු හැරී බලන විට ඔබට මොකද හිතෙන්නෙ?

මම සතුටු වෙනවා මෛත්‍රිපාල මහතා රටේ ජනපති වීම ගැන. අනෙක් මොන කාරණා කෙලෙස වුණත් ඔහු හොරෙක් නොවෙයි. ඔහු වංචාකාරයෙක් නෙවෙයි. ඔහුට හැඟීමක් තියෙනවා රට ගැනත් ජනතාව ගැනත්.

ජනාධිපති මෛත්‍රිපාල හොරෙක් නෙවෙයි කියලා ඔබ කියනවා. නමුත් ඔබේ නායක රනිල් වික්‍රමසිංහට එදා කියූ ර්ප. ඛ්තඥචද අද ර්ප. ච්ඪපබර බවට පටබැඳිලා, මොකද හිතෙන්නෙ?

මං කනගාටු වෙනවා. එතුමා ඒකට සම්බන්ධ හෝ අසම්බන්ධ හෝ එවැනි චෝදනාවක් එල්ල වීම ගැන කනගාටු වෙනවා. හැබැයි එවැනි චෝදනාවක්වත් වත්මන් ජනාධිපතිවරයාට එල්ල වී නොමැතිකම ගැන මං සතුටු වෙනවා. මොකද එතුමා ජයග්‍රහණය කරවන්න වැඩ කළ පුද්ගලයෙක් වශයෙන්.

දූෂණ, වංචා නතර කරන්න පැමිණියත් ඔබේ පක්ෂ නායකයාගේ සිට ප්‍රබල වංචා දූෂණ පවත්වාගෙන යනවා කියලා පවතින ප්‍රබල චෝදනාව නිසාම අද ඔබ වැනි පක්ෂයේ බර කරට ගෙන කටයුතු කළ අයට වචනයක් පිට කරද්දී දස වාරයක් පමණ හිතන්න සිදු වී තිබෙනවා නේද?

එවැනි හිරවීමක් නැහැ. කියන්න ඕනෑ කාරණය කියනවා.

එසේ නම් මහ බැංකු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් ඔබේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව ඔබට බැහැර කළ හැකිද? ඔහු ඊට ඍජුව වගකිව යුතුයි නේද?

එහෙම ඍජුවම කියන්න බෑ. මොකද පරීක්ෂණ වාර්තාව ආවම නිසියාකාරවම විමර්ශන නිලධාරීන් කියාවි අසවලා වගකියන්න ඕනෑ කියලා. එවැනි වාර්තාවක් ඉදිරිපත් කළොත් කුමන පුද්ගලයට හරි, ඒ වාර්තාව අපට පිළිගන්න වෙනවා.

මේ වන විට රාජපක්ෂ - මෛත්‍රි අතර කිට්ටු සබඳතාවක් ගොඩනැඟී තිබෙන බවක් පේනවා නේද?

මාධ්‍ය තුළින් නම් එහෙම කතන්දර කියන්න ඇති. එහෙම කිට්ටු සම්බන්ධයක් පෞද්ගලිකව පවත්වනවාද කියන්න මං දන්නෙ නැහැ.

නමුත් පෙර අප නොදුටු ආකාරයට ප්‍රසිද්ධ වේදිකා තුළ ඔවුන් දෙදෙනා එකට සිටින අයුරු දකින්න තිබෙනවාද?

ඔව්. දේශපාලන වේදිකාවේදී ඒවා සංවිධානය කරන පුද්ගලයෝ ඒ වගේම දේශපාලන නොවන වැඩකටයුතුවලදී ඒ කියන්නේ රටේ ආගමික හෝ සංවර්ධන හෝ සමාජයීය කටයුතුවලදී ඒ සංවිධායකයන් විසින් විවිධ මත දරන දේශපාලනඥයන්ට ආරාධනා කළහම ඒ ආරාධනාවලට සහභාගි විය යුතුයි. අරය එක්ක හෝ මෙයා එක්ක අමනාපයි කියලා මඟහරින්න බෑ.

මාතෘකාවට ලක්ව තිබෙන සභාග ආණ්ඩුවේ ඇමැති රංගේ බණ්ඩාරත් කොටස්කරුවෙක් කියලා ආරංචියි?

තවම නම් අවස්ථාවක් හම්බ වෙලා නෑ. එවැනි අවස්ථාවක් ආවොත් ඒක සුදුසුද කියලා බලන්න ඕනෑ. ඒක සුදුසු නම් මගෙ රට වෙනුවෙන් මගෙ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මීට වඩා සුවිශේෂී වැඩක් කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ.

මේ සභාග ආණ්ඩු මාතෘකාව පිළිබඳ ඇයි එක්සත් ජාතික පක්ෂය මුනිවත රකින්නෙ?

එහෙම එකක් නෑ. දැන් අපි ජාතික ආණ්ඩුවක්නෙ හරි ගස්සලා තියෙන්නෙ. ජාතික ආණ්ඩුවක් තියෙද්දී මොකටද ආයෙ සභාගයක් ගැන කතා කරන්නෙ.

ජාතික ආණ්ඩුවෙන් පලක් නැති නිසා සභාග ආණ්ඩුවක් ගැන කතා කරන බවයි මතයක් වී තිබෙන්නෙ?

ජාතික ආණ්ඩුවෙන් පලක් නැත්තෙ හිටපු ආණ්ඩුවෙ කට්ටියට. ඒ ගොල්ලොනේ ඔය සභාග ආණ්ඩුවක් ගැන මාතෘකාව ගෙනාවෙත්.

පසුගිය කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රි විසින් අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ වරාය පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ගෙනා යෝජනාව ඍජුවම ප්‍රතික්ෂේප කරනවා. මෙය ඔබේ නායකයාට එල්ල කළ දැවැන්ත කනේ පහරක් නේද?

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමා. ඔය යෝජනාව පමණක් නෙවෙයි, සමහර අවස්ථාවල මමත් වැඩබලන කැබිනට් ඇමැතිවරයාව සිටියදී එවිට ඉදිරිපත් කළ සමහර කැබිනට් පත්‍රිකා ඔය වගේම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒවට ඒ තරම් ප්‍රසිද්ධියක් දීලා නෑ. මේ වගේ වෙලාවක මේවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. මේක තමයි දේශපාලන ලෝකය.

අපේ ළමයෙක් අතින් ඇක්සිඩන්ට් එකක් වුණොත් හරි ප්‍රසිද්ධියක් දෙනවා. ඒක ඔබේ පත්තරෙත් මුල් පිටුවේ පිටු බාගෙකට වඩා ගියා. අර ‍ෙදාස්තර නෝනා අතින් ඇක්සිඩන්ට් වෙලා මිය ගියත් එහෙම දාන්නෙ නෑ. ඒක පුද්ගලයා අනුව කරන වැඩ.

ඔබ මේ රටේ වටිනා සම්පත් පැවැරීම හෝ විකිණීම අනුමත කරන වගක් මෙයින් පේන්නෙ?

අපේ රට කෙටි කාලීන වාණිජ ණය අරගෙන, 14% විතර ණය අරගෙන ඒ වාණිජ ණය අරගෙන කරපු ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු කියන දේවල්වලින් සත පහක ආදායමක් එන්නේ නැත්නම් රට හිරවෙලා තියෙනවා. මේ හිරවීමෙන් රට නිදහස් කරගන්න ඕනෑ. අපට ආයෝජනය කරන්න බැරි දේවල් තියෙනවා නම් ආයෝජන කළ හැක්කකු සම්බන්ධ කරගෙන කළ යුතු වෙනවාමයි.

මේක මහින්ද රාජපක්ෂත් දන්නවා. දන්න හින්දා තමයි කලින් ඡන්දෙ තිබ්බෙත්.

කුණු කසළ සම්බන්ධ ඔබේ ආණ්ඩුව විසින් පටන් ගත් ව්‍යාපෘතියකට ඇයි ඔබ මේ විරුද්ධ වෙන්නෙ?

විරුද්ධ නෙවේ. විද්‍යාත්මකව කරනවා නම් විද්‍යාත්මකව කටයුතු කළ යුතුයි. අපිත් එක්ක ආ අපේ ජනතාව එක්ක ඇති කරගත් එකඟතාවක් තියෙනවා. ඒ එකඟතාවන්ට අනුව වැඩ සිදුවිය යුතුයි.

මගේ දිස්ත්‍රික්කයට යකඩයි, ගල් අඟුරුයි, කුකුළු අපද්‍රව්‍යයි, බැටරි කඩන ඒවයි, සිමෙන්තියි මේ වගේ පරිසරයට හානි කරන දේවල්ම ගෙනත් දාන්න ඒගොල්ලො අපේ මිනිසුන්ගේ ජාතක පියවරුන්ද? ජාතක මවුවරුන්ද?

අපේ මිනිසුන්ගේ ජීවිතවලට වගකියනවාද? දැන් මේ තියෙන අපද්‍රව්‍ය මදිවට. තවත් රටේ තියෙන සියලු වර්ගයේ අපද්‍රව්‍ය ගෙනත් දාන්නේ අපේ මිනිසුන්ට කන්න දීලද? බොන්න දීලද? අපේ දරුවො හදලද?

ඔබ චෝදනා කරන්නෙ කාටද?


කුණු ගේන්න හදන අයට.

ඔය කුණු සම්බන්ධව ඔබ වරෙක ඇමැති චම්පිකට තර්ජනාත්මක චෝදනාවක් කළා. චම්පිකගේ සුපුරුදු චණ්ඩි පාටි දාන්න ආවොත් පුත්තලමේ අපි බලාගන්න නම් කියලා? මොකක්ද මේ ඇඟවීම?

අපිත් එක්ක එකඟ වුණා මේක විද්‍යානුකූලව කරන බවට. එකඟතාවන් ගණනාවක් තියෙනවා. ඒ එකඟතාවන් එකක්වත් තවම සිද්ධ කරලා නෑ. සිද්ධ කරන්නෙ නැතිව මේවා කරන්න හදන කෙනාගේ පරමාර්ථය පමණක් ඉෂ්ට කරන්න ඉඩදෙන්න බෑ. මගේ දිස්ත්‍රික්කයේ මගේ ජනතාවට අගතියක් නොවිය යුතුයි.

ඇමැති චම්පික රණවක ඔබේ ඔය චෝදනාව බැහැර කරමින් මාධ්‍යට පැවැසුවේ එම ව්‍යාපෘතිය විද්‍යානුකූල බවයි?

එතුමා මේක විද්‍යාත්මකව කරනවා නම් කිසිම පරිසර ප්‍රශ්නයකුත් නැති නම් එතුමටයි, එතුමාගේ පවුලේ සාමාජිකයන්ටයි එතුමගේ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහයි, ඔහුගේ අඹු දරුවෝ එක්කයි, අර ජවිලාල් කියන ව්‍යාපෘති කළමනාකරු ඔහුත් එහෙම කියලා තිබුණා. එහෙනම් ජවිලාල්ගෙ අඹු දරුවොයි ඔක්කොම ඇවිල්ලා වනාතවිල්ලුවේ පදිංචි වෙන්න පුළුවන්.

මොකද ඒ අය කියන විදියට කිසිම පරිසරයට හානියක් නැති සුකොමළ සුන්දර ඉතා වැදගත් විනීත විද්‍යානුකූල ආකර්ෂණීය කටයුත්තක් නිසා. ඉතින් ඒ අය පවුල් පිටින් ඇවිත් පදිංචි වෙලා පෙන්නන්න කියන්නකෝ.

නමුත් ඔබ මොකක්ද මේ කියන 'චම්පිකගේ සුපුරුදු චණ්ඩි පාට්'

චම්පික නෙවේ මොන පික වුණත් අපට කමක් නෑ. අපේ දිස්ත්‍රික්කෙ වැඩ කරන්නෙ ජනතා මතය සමඟ. ඒ ජනතා මතය වෙනුවෙන් අපිට මොන පික වුණත් කමක් නෑ.

ඔබ මේ කරන චෝදනා එක්ක වක්‍රව හැඟෙන්නෙ ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ දෙයක්ද ඔය කියන ඇමැතිවරයාගෙනුත් සිද්ධ වෙන්නෙ කියලා?

ඔය එක එක්කෙනා ඉතින් අනුන්ගෙ ගෙවල්වලටමනේ රිංගලා තියෙන්නෙ. මේ ආණ්ඩුව එනකොට මේ ආණ්ඩුවට රිංගනවා. ඊළඟ ආණ්ඩුව එනකොට ඊළඟ ආණ්ඩුවෙ ගෙවල්වලට රිංගනවා. අපි ඉතින් අපේ ගේම තමයි රිංගගෙන ඉන්නෙ. අර නායකයා එතකොට ඒ නායකයට. මේ නායකයා එතකොට මේ නායකයට. ඕනෑ නායකයෙක් ආවොත් ඒ නායකයට සුදු හුනු ගාමින් තමන්ගෙ කාලය මරාගැනීමට කටයුතු කරමින් ඉන්නවා.

ඔබ කියනවා කොළඹ කුණු පුත්තලමට ගේන්න එපා කියලා. මෙහෙ කුණු කියලා වර්ග කරන්නෙ කොහොමද?

මං එහෙම කිව්වේ නෑ. පත්තරවල නම් එහෙම තිබුණා මං දැක්කා.

එජාපයේ ජේ‍යෂ්ඨයෙක් ලෙස ඔබ ආණ්ඩුවෙ දෙවැනි පුරවැසියෙක් බවට පත්වෙලාද? උදාහරණයකට මේ කැළිකසළ සිද්ධිය අපට පෙනෙන්නට තිබෙනවා?

ඒක ඉතින් දෙකද තුනද කියන දන්නෙ නෑ. කොහොමත් ඔය එහා පැත්තෙන් මෙහා පැත්තට පනින උදවිය ඒ දුර පනින උස පනින ප්‍රමාණය අනුව තමයි ඔය ආණ්ඩුවේ තනතුරුත් පක්ෂයේ තනතුරුත් හැම තැනම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙත් එහෙමයි. චන්ද්‍රිකා ආණ්ඩුවෙත් එහෙමයි. රාජපක්ෂ ආණ්ඩුවෙත් එහෙමයි. ඔය හැම ආණ්ඩුවකම අපි දැක්කා මෙහෙ ඉඳලා එහෙට පැනපු ගමන්ම කැබිනට් එකේ ඉඳගෙන හිටිය හැටි. අර එදා ඉඳන් බැට කකා කරගහගෙන හිටපු උන්ව දෙවැනි පෙළ හරි තුන්වැනි පෙළ හරි පල්ලෙහා පෙළට වැටිලා අරගොල්ලො රජ පෙළ වෙලා ඉන්නවා. ඒක මේ ලංකා දේශපාලනයේ දකින්න තියෙන දෙයක් තමයි.

ඔබ එජාපයෙන් ඡන්ද අරගෙන පැමිණි චම්පික රණවක ඇමැතිවරයා හෝ එවැනි වෙනත් අය සමඟ ප්‍රබල කලකිරීමකින් නේද මේ කතා කරන්නේ?

එවැනි කලකිරීමකින් නෙවෙයි. අපි කලකිරී සිටින්නේ මෙවැනි දේවල් ගෝඨාභය ගෙන ඒම සම්බන්ධව. පුත්තලම කුණු ගොඩක් කරන්න පටන් ගත්තේ ගෝඨාභයනේ. පොහොට්ටුවනේ. අද පොහොට්ටුවේ ඉන්න අය කරන්න හදන්නෙ ආණ්ඩු විරෝධී වැඩක්. ගෝඨා මේක පටන් ගද්දී ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රිලා ඇමැතිලා ඔක්කොම කටවහගෙන හිටියේ. හිඟන්නු වගේ හිටියේ. දැන් ෆේස්බුක්වල වීරයෝ වෙනවා.

මේ සිද්ධියට අදාළව ඇමැති චම්පික රණවක කාලකණ්ණි දේශපාලනඥයෝ යැයි චෝදනා කළේ ඔබට නේද?

මං දන්නෙ නෑ. පුත්තලමේ කාලකණ්ණි දේශපාලනඥයෝ නම් නෑ. අපි යූ.එන්.පී. දේශපාලනඥයෝ. අපි එහාට පැනලත් නෑ. මෙහාට පැනලත් නෑ. එහාටත් පැනලා මෙහාටත් පැනලා හැම පැත්තෙන්ම තනතුරු අරගෙන තමන්ගෙ ගොඩ ලොකු කරගන්න හදන උන් තමයි කාලකණ්ණියෝ.

මෙගා පොලිස් අමාත්‍යාංශ ලේකම් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ පුත්තලමට හමුදාව යොදවන බව. මේ කුණු ප්‍රශ්නය කුළල් කාගන්න තැනට පත්වෙලා නේද?

හමුදාව දාලා ඒ අයට කුණු දාන්න පුළුවන්. හැබැයි ඊළඟ එන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී හමුදාව දාලා නම් ඡන්ද ගන්න බැරිවෙයි. කරන අයට අනුබල දෙන අයට ඊළඟ ඡන්ද දාලා පෙන්වන්න.

ඔබ කුමන කතාව කිව්වත් ආර්ථිකය ගොඩනඟන්න ආපු එක්සත් ජාතික පක්ෂය අද ආර්ථිකය හතරගාතේ වට්ටලා කියලයි ජනතා මතය?

ආර්ථිකය හතරගාතේ නොවේ අටබාගෙටම දාලා දුන්නෙ රාජපක්ෂ.

ඒ දිගුව එජාපය විසින් තවත් වැඩි කළා කියලයි චෝදනාව?

අපි බංකොලොත් කළේ නෑ. එදා බංකොලොත් කරපු දේ තමයි අපි මේ ගොඩගන්න යන්නේ.

මේක ගොඩගන්න තව අවුරුදු 4ක විතර කාලයක් යනවා මිනිසුන්ට බොහොම සන්තෝෂෙන් ඉන්න පුළුවන් තැනකට ගේන්න නම්. මේක හොඳ තත්ත්වයට ගියා නම් රාජපක්ෂ දාල යන්නෙ නෑ. බැරි හින්දා තමයි ඔහු දාලා ගියේ.

සංවාදය -
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon