FCID ය කියන්නේ සිරිකොත ශාඛා සමිතියක්-ඒකාබද්ධ විපක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු

  👤  2718 readers have read this article !
By mawbima 2018-10-21

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට වයඹ පළාත් මන්ත්‍රි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ පවරා තිබූ නඩුව විභාග කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය ඒ මහතා සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරනු ලැබුවාය.

1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණේ මූල්‍ය අපරාධ කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) විසිනි. සැප්තැම්බර් 3 දින නඩු විභාගය ආරම්භ වූ අතර නඩු විභාගය අවසන් වන තුරු මන්ත්‍රිවරයා දින 44ක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියේය. සිරගතව සිට ජනතාව අතරට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සමඟ 'මව්බිම' පැවැත්වූ සාකච්ඡාව මෙසේය.

ආණ්ඩුව ඔබට සුපිරි රැග් එකක් දුන්නා. මොකද මේ වෙලාවේ ඒ ගැන හිතෙන්නේ?

ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් තමන්ට විරුද්ධ මත දරන අයට ඉතාමත් නිර්මාණශීලීව ගොතන ලද නඩු දමමින් සිටිනවා. ඔවුන් දේශපාලනඥයන්, රණවිරුවන්, වෛද්‍යවරු, මහා සංඝරත්නය, පූජකවරු, රාජ්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ කාට වුණත් මට ගෙතුවා වගේ නඩු දමන්නට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මේ සියල්ල ආණ්ඩුව කරන්නේ යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවෙමිනුයි.

මේ නඩුව ඔබ මුහුණ දුන් බරපතළ අභියෝගයක් වුණා?

පළමුවෙන් කළේ අපිට ඇමැතිකම් ගන්න බල කරන එක. අපි ඒ පාපයට කර ගැහුවෙ නැහැ. අන්තිමට වුණේ විරුද්ධ මත මැඬපවත්වන්නට කිසිදු පදනමක් නැති, ඊනියා නඩු ගොනු කිරීම. ආණ්ඩු බලය ගන්න ඉස්සර ඔවුන් කීවෙ මෙගා ඩීල් ගැන. පසුගිය ආණ්ඩුව හදපු මහා මාර්ගවල ඇස්තමේන්තු ගැන බලපුවාම රත්තරන්වලින් පාරවල් හදන්න තිබුණා කියලයි කිව්වේ. වැඩි ඇස්තමේන්තු දාලා මිලියන ගණන් හොරකම් කළ බවයි කිව්වේ.

අපට හොරු හොරු කියන හංවඩුව ගැහුවා. එහෙම මඩ ගහලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ.

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැති දිගටම ප්‍රකාශ කරනවා ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ හොරු අල්ලන්න. අපි හොරුන්ට නඩු පවරා හිරගෙට අරිනවා කියා?

යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවෙලා අද හොරකම් කරන්නේ. මෙගාඩීල් දමන්නේ ඔවුන්. මහ බැංකුවට වැඩේ දුන්නේ ඔවුන්. කිසිම විදේශ ආයෝජකයෙක් අපෙන් කොමිස් ඉල්ලුවා කියා රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කළේ නැහැ. දැන් පළවැනි වතාවට අපි දකිනවා ආයෝජකයන් ඇවිත් ඇමැතිවරුන්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා අපෙන් මෙන්න මේ ඇමැති කොමිස් ඉල්ලුවා කියා.

ආණ්ඩුව කියන්නේ මහජන දේපොළ සොරකම් කරන අයට සමාවක් නොදෙන බවයි?

අද සිදුවන මේ මහා පරිමාණ සොරකම් ගැන අපි ඒකාබද්ධ විපක්ෂය හොඳ අවධානෙන් ඉන්නේ. අපිත් කියන්නේ මේ ආණ්ඩුව සිදුකරන හොරකම්වලට කිසිදු සමාවක් නොදෙන බවයි.

පළමුවැනි කුණාටුව ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙසට හමන්න විශේෂ හේතුවක් තිබුණාද?

මම පාර්ලිමේන්තුවෙ අවුරුදු 18ක් ඉන්නවා. පළාත් සභාවේ, තවත් නොයෙක් රාජ්‍ය ආයතනවල අවුරුදු 25ක් විවිධ තනතුරු දරල තියෙනවා. යූ.ඇන්. පිය දන්නවා මගේ ශක්තිය මොකක්ද කියල. ආණ්ඩුව හොඳට දන්නවා. ඔවුන් මාව ඉලක්ක කර පහර දුන්නේ ඒ නිසයි.

දැන් ඔබ කියන්නේ මේ නඩුව දමන්න කිසිම පදනමක් තිබුණේ නැහැ කියලද?

මුලින්ම මහෙස්ත්‍රාත් උසාවියෙ දැම්මෙ ලක්ෂ 52ක් වංචා කෙරුවා කියලා. ඊළඟට ඒක 38ට බැස්සුවා. අන්තිමට ඒක 24ට ගෙනාවා. නඩුව විභාග වෙද්දී හෙළි වුණේ ලක්ෂ 24ක් අපි වැඩිපුර ගෙවා තිබෙන බවයි.

බිලියන ටි්‍රලියන ගණන් හොරකම් සිද්ධ වෙන රටේ මොකද එහෙම පොඩි ගණනක් දැම්මේ

අපි නිකන් තුට්ටු දෙකේ හොරු කියල රටට පෙන්නල අපහාස කරන්නයි මේ නඩු දැම්මෙ. අපේ ආත්මගරුත්වයට, චරිතයට, නම්වලට ගහල අපිව යටපත් කරන්නයි ඔවුන්ට වුවමනා වුණේ? නමුත් මගේ ආගම අනුව සත්‍යය ජයග්‍රහණය කරන බව මා දැන සිටියා.

අන්තිමට ඔබ දේශපාලන සිරකරුවෙක් වෙලයි නතර වුණේ?

මේ නඩු පැවැරීම් සිදුවුණේ, වෙන්නේ ජාත්‍යන්තරයේ වුවමනාවට බවයි මා හැම විටම කිව්වේ. ජාත්‍යන්තරයට අවශ්‍ය වුණා ආණ්ඩුවට විරුද්ධ බලවේගවලට ගහල ඉවර කරන්න. මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයට ගහල කුඩුපට්ටම් කරලයි තියෙන්නෙ. අද ජනතාව දේශපාලනඥයන් දිහා බලන්නෙ වංචනිකයො හොරු කියල හිතාගෙන. ඒක නිර්මාණය කළේ ජාත්‍යන්තරය.

ඒකට උදවු කළේ අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක. මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් ගිහින් අන්තිමට ඒකට එකතු වුණා. හැම ක්ෂේත්‍රයකටම ගහනවා. අධිකරණයට ගැහුවා. ගහනවා. රාජ්‍ය සේවයටත් ගැහුවා. අදටත් ගහනවා. ආරක්ෂක හමුදාවටත් එහෙමයි. සමාජයට ගහනවා, මාධ්‍යයට ගහනවා. මේක රටේ කීර්ති නාමය විනාශ කරන්න ගත්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

ඔබ දක්වන සමහර චෝදනා ඒ අයුරින්ම පසුගිය ආණ්ඩුවටත් එල්ල වුණා. ජාත්‍යන්තර බලපෑම් ගැන කතා කරද්දී චීනයෙන් පෞද්ගලික මුදල් ලබා ගත්තා කියන චෝදනාව හිටපු ජනාධිපතිවරයාටත් එල්ල වුණා?

චිනෙන් මුදල් ගත්ත කියනව නම් ඊට ඉස්සර හොයන්න ඕන, ඇමෙරිකාවෙන් මේ ගොල්ලො ඩොලර් මිලියන 576ක් ගත්ත. ඒ ගැන ඒක යෙදෙව්වෙ මා සඳහන් කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයට. ඒ 576 ගත්තෙ කවුද කියල හෙව්වොත් දැනගන්න පුළුවන් කවුද මේ කුමන්ත්‍රණයෙ ඉන්නෙ කියල.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (ජ්ඛ්ධ්ච්) විසින් පවරන ලද නඩු පෝලිමක් තියෙනවා. ඉන් බහුතරයක් නාමල්, යෝෂිත, ගෝඨාභය, බැසිල් ආදී රාජපක්ෂ පවුලේ උදවියට පවරනු ලැබූ නඩු. මේවා කිසි පදනමක් නැති දේශපාලන පළිගැනීම් බවද ඔබ මේ කියන්නෙ?

ජ්ඛ්ධ්ච් කියන්නෙ නීත්‍යනුකූල නොවන ආයතනයක්. ඒක නිර්මාණය කළේ ජනපති මෛත්‍රි, අගමැති රනිල්, විපක්ෂ සංවිධායක අනුර. ඒකට පරීක්ෂණ පවත්වන්න නියෝග දිය හැක්කේ ආණ්ඩුවට සහ විපක්ෂයේ අනුර දිසානායක ඇතුළු කණ්ඩායමටයි. ඔවුන් තමයි මේ චෝදනා සැලසුම් කරන්නේ. ඉස්සෙල්ලා මාධ්‍ය ඉදිරිපිට වාඩි වෙනවා. ඊගාවට අරලියගහ මන්දිරයේ වාඩි වෙනවා. ඊළඟට අගමැති, මලික්ලා, අනුරලා එකට වාඩි වෙනවා.

ඔවුන්ට ඕන පොලිස්පති, නිලධාරි පත් කළා. කොටින්ම ජ්ඛ්ධ්ච් කියන්නෙ සිරිකොත ශාඛා සමිතියක්. ඔවුන්ගේ වගකීම් ආණ්ඩුවට අභියෝගයක් වන උදවියට නඩු දැමීම. මගේ නඩුව එයින් එකක්. එයින් මට වෙච්ච අපහාසය බලන්න.

ඔබ උපරිම දින කීයක් සිරගතව සිටියද?

දෙවනවර දවස් 44ක් සිරගතව සිටියා. ඇප ගන්න ඉස්සෙල්ල දවස් 30ක් හිරේ දැම්මා. මනුෂ්‍යයකු හැටියට මට මොන පීඩනයක් දුන්නද?

ශක්තිමත් මිනිස්සු හැටියට අපි ඒකට මුහුණ දුන්නා. මම හැමදාම හැම මැතිවරණයකදීම ලංකාවෙ පළමුවෙනි හය දෙනා අතරෙ ඡන්දෙ ගත්ත පුද්ගලයෙක්. මටයි මේ අසාධාරණ පළිගැනීම සිදු කළේ. අවුරුදු 10, 15 දුප්පත් මිනිස්සුන්ගෙ නඩු ඇදි ඇදී යනවා. ඒ සියල්ලටම ඉස්සර වෙලා තමන්ට විරුද්ධ දේශපාලනඥයාගෙ නඩුව අහල හිරගෙට දක්කන්නයි මේ අය හැදුවේ. නමුත් අධිකරණය ඒකට ඉඩ තිබ්බෙ නැහැ.

එහෙම නම් ඔබ කියන්නේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩුවට විරුද්ධ ඇතැම් අයට පවරා තිබෙන නඩු සියල්ලම ඔවුන් ආණ්ඩුවට අභියෝගයක් වීම නිසාම පවරන ලද නඩු බවද?

බැසිල් රාජපක්ෂ මහත්තයට නඩු දැම්මේ ඇයි? අභියෝගයක් නිසා. ගෝඨාභය මහත්තයට, විමල් වීරවංශ මහත්තයට, යෝෂිතට, නාමල්ට උදයට මේ ඔක්කොටම නඩු දමන්නෙ ද්වේෂ සහගතවයි. ඇත්ත කතන්දරේ ඒකයි.
හොඳයි චෝදනා තියෙනව නම් ඉක්මනින් නඩු අහලා තීන්දුවක් දීමේ වරදක් තියෙනවද?

ඇයි ඉක්මන් කරන්නේ. ඉක්මනින් නඩු අහලා මැතිවරණය එනකොට හිරේ දාන්නයි මේ තදියම. අපට දැන් විශ්වාසය තියන්න පුළුවන් එකම තැන අධිකරණය. අපි අධිකරණයට ගෞරව කරනවා.

රන්ජන් රාමනායකල අධිකරණයට එළිපිට ගහනවා. එන්.ජී.ඕ.වලින් ගහනවා. නීතිඥයන්ට ගහනවා. මොකක්ද මේ කරන්න හදන්නෙ. මේ ගැහිල්ලෙ අවසාන ප්‍රතිඵලය මොකක්ද. මේව බොරු වංචනික නඩු. තමන්ට ඕන පොලිස් නිලධාරින් දමල, නීතිය නවල ගැට ගහපු නඩු මේව. අපිට අධිකරණය කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. මේවගෙ පාදඩ ආණ්ඩුවක් කරන කියන දේවල්වලින් නීතිය වැළලෙන්න මේ රටේ අධිකරණය ඉඩ නොදෙයි කියල ලොකු විශ්වාසයක් අපට තියෙනවා.

මේ නඩු දැම්මෙ කවුද, කවුද දුරකථන ඇමතුම් දුන් දේශපාලනඥයො, විපක්ෂය නියෝජනය කරමින් මේ කමිටු නියෝජනය කළේ කවුද කියල අපට හොයාගන්න පුළුවන්. අගමැති නීතිපතිට කීපාරක් කතා කළාද ජනාධිපති කීපාරක් කතා කළාද මේ හැම දෙයක්ම අපි හොයා ගන්නවා. අපි ඒ හැම දෙයක් ගැනම අනාගතේ ක්‍රියා නොකළොත් මේ රට කවදාවත් ගොඩ නඟන්න ලැබෙන්නෙ නැහැ.

ඔබ එෆ්සීඅයිඩී එක නීති විරෝධී ආයතනයක් බව පුන පුනා ප්‍රකාශ කරනවා. ඇයි? ඉතින් ඒකාබද්ධ විපක්ෂය ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් ප්‍රබල මැදිහත් වීමක් නොකරන්නේ?

අපි උපරිමාධිකරණය ඉදිරියට ගියා. අපි විතරක් නොවෙයි. තවත් පිරිස් උපරිමාධිකරණයට එෆ්සීඅයිඩී එකට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණය ඉක්මනින් මේ සම්බන්ධව තීන්දුවකට එන්න කියලා අපි ඉල්ලනවා. මොකද ප්‍රමාද වී ලැබෙන යුක්තියත් නිෂ්ඵලයි. හේතුව දේශපාලන පක්ෂයක පොලිසියක් රටක තියෙන්න බැහැ. පොලිසිය වෙනුවෙන් බදු ගෙවන්නෙ රටේ ජනතාව.

ලංකාවේ බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධව ඔබ හොඳ අත්දැකීමක් ලබාගත්තා. මොකක්ද ඒ ගැන ඔබට කියන්න තිබෙන්නේ?

හිරකරුවොත් හිනා වෙනවා රටේ අපරාධ අඩුවෙලා කියල පොලිස්පතිතුමා පෙන්වන ගණන් හිලව්වලට. ලංකාවෙ බන්ධනාගාර සියල්ල පිරිල ඉවරයි. රිමාන්ඩ් සිරකරුවො දහස් ගණනක් දුක් විඳිනවා. සමහර බන්ධනාගාරවල සිරකරුවන්ට නිදන්න ඉඩ නෑ. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. වැසිකිළිවලත් ඉඩ නෑ.

රිමාන්ඩ් එක අපරාධ මෙහෙය වන පාරාදීසයක් බවට එළියේ මතයක් තිබෙනවා?

රිමාන්ඩ් එක ගැන අමුතුම මතයක් හදලා. සියලුම වැරදි එතන සිදු වෙනවා කියලා.

ඇමැතිවරු රිමාන්ඩ් එක දිහා අනුකම්පාවෙන් බලල ලංකාවට කුඩු එනව නම්, මත්පෙති එනව නම්, බන්ධනාගාර ආරක්ෂා කරලා හරියන්නෙ නැහැ. කුඩු ගේන මිනිස්සු අල්ල ගන්න ඕන. රටට කුඩු එනවට වගකිව යුත්තෙ ආණ්ඩුව. සිරකරුවෝත් මනුෂ්‍යයෝ බව අමතක කරන්න එපා. මට වෙච්චදේ හොඳම උදාහරණය. මොවුන්ගෙ කුමන්ත්‍රණය හරි ගියා නම් අද මම හිර ගෙදර. සිරකරුවන් 600ක් 700ක් බලාගනිමින් බන්ධනාගාර නිලධාරීන් පුදුම සේවයක් කරන්නෙ.

ඔබ මොකද අපේ රටේ අනෙක් දේශපාලනඥයන් වගේ හිරගෙදර ගිය ගමන් ලෙඩක් හදාගෙන ඉස්පිරිතාලෙකට නොගියේ.

මම කල්පනා කළේ ජනාධිපතිතුමාටයි. අගමැතිතුමාටයි ඕන වුණේ මාව හිර කූඩුවක දාලා දුක් විඳිනව දකින්නනෙ. ඉතින් ඒ අයට ඒ සතුට ලබාදෙන්න මම කූඩුවෙම හිටියා.

නිකන් හරි ලෙඩක් හැදිල මම රෝහලකට ගියා නම් ඒ දෙන්නා දුක් වෙනව. මම දන්නව මම හිරගෙදර ඉන්න කොට ඒගොල්ලන්ට සනීපෙට නින්ද යනව. ඒ හින්ද මම සිර මැදිරියේම හිටියා. ඒකෙ 51ක් හිටිය. චූටි වැසිකිළියක් තිබුණෙ. එක්කෙනෙක් වැසිකිළියෙ විනාඩි දෙකක් හිටියොත් යන වෙලාව හිතාගත හැකිනෙ. රෑට වැසිකිළි යන්න බෑ. මිනිස්සු පෑගෙනව. කොහොම නමුත් මා දුක් විඳීමෙන් ජනපති, අගමැති වගේම මේකට දායක වූ අයත් සතුටක් ලැබුවා නම් ඒක මට ලොකු පිනක්.

මේ දවස්වල භාරකාර ආණ්ඩුවක් ගැන කතා වෙනවා. ඔබ කොතනද ඉන්නේ ?

මම ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යා යුතුය කියන තැන. පෙබරවාරි 10 ජනතාව ඒ තීන්දුව දුන්නා. පළාත් පාලන මැතිවරණයේදී. භාරකාර ආණ්ඩුවක් ආ යුත්තේ ඉක්මනින් ඡන්දය තැබීම සඳහා පමණයි. මේ විකෘති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටම අවුලක් වෙලා. පට්ට හොරු රට ආණ්ඩු කරන තත්ත්වයට වැටිලා. ඒ නිසා වහාම නීති වෙනස් කරලා හරි මහ මැතිවරණයකට යා යුතුයි.

ඒකාබද්ධ විපක්ෂයේ මතවල ඒකාබද්ධයක් නැති බව පෙනෙනවා. එක් එක් පාර්ශ්වයන් එක් එක් ප්‍රකාශ සිදු කරනවා. වෙල්ගම මහතා එකක් කියනවා, මහින්දානන්ද තවත් එකක්, වාසු ඊටත් වඩා වෙනස් කතාවක. ඉතින් කොහොමද මැතිවරණයකට යන්නේ?

ඕන කෙනකුට තමන් දරන පෞද්ගලික මත ප්‍රකාශ කරන්න පුළුවනි. ඒකාබද්ධය ක්‍රියාත්මක වෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. තීන්දු තීරණ ගන්නේ එතුමා සමඟ පොදු එකඟතාවයෙන්. ජොන්ස්ටන් ප්‍රනාන්දුවත් වෙන කවුරුවත් දරන පෞද්ගලික මතය වැදගත් වෙන්නෙ නැහැ.

ඔබ කියන අදහස හොඳින් පිළිබිඹු වෙන්න තිබූ අවස්ථාව අගමැතිට එරෙහි විශ්වාසභංගය. කෝ එහෙම සමඟියක් ඇති වුණේ නැහැ. එය පරාජය වුණා?

විශ්වාසභංගයෙන් අපට නිර්මාණය වුණා අලුත් තත්ත්වයක්. ආණ්ඩුවේ හිටපු කණ්ඩායමක් කැඩුණා. අපිට බලයක් නැහැ. දැන් ඉන්නෙ 48යි, 52යි ආදී වශයෙන් ගෙනිච්ච ප්‍රචාර නිශේධනය වුණා. පන්සල් ගාණෙ යනවා මිසක වැඩක් කරගන්න බෑ ආදී වශයෙන් ගෙනිච්ච ප්‍රචාර බිඳවැටුණා.

ආණ්ඩුවේ වගකිවයුත්තන් ප්‍රකාශ කරනවා ඔවුන් ආණ්ඩුවේ අවුරුදු පහක කාලය සම්පූර්ණ වනතුරු කිසිදු බාධාවකින් තොරව රට පාලනය කරන බව?

මැතිවරණ නොතිය අවුරුදු 20ක් වුණත් යයි. හෙට මැතිවරණයක් තිබ්බොත් කිසිම සැකයක් නෑ මේ ආණ්ඩුව ඉවරයි.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon