ජේතවන ව්‍යාපෘතියෙන් පසු මෙරට ආරම්භ කරන විශාලතම පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතිය දීඝවාපී සංරක්ෂණ ව්‍යාපෘතිය නොවැම්බර්වල අරඹනවා

  👤  1613 readers have read this article !
By mawbima 2018-10-19

හර්ෂනී අර්සකුලරත්න

ජේතවන ව්‍යාපෘතියෙන් පසු මෙරට ආරම්භ කරන විශාලතම පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතිය එළැඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

ඒ අනුව දීඝවාපී චෛත්‍ය සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් ඒ සඳහා නියමිත ප්‍රමිතියෙන් යුක්ත ගඩොල් මිලියන 25ක් පමණ අවශ්‍ය වන බවට ගණන් බලා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එසේම රට පුරා තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සියලුම ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් ඇතැම් විට එවැනි ස්ථාන දහස් ගණනක් එසේ ආරක්ෂා වෙද්දී මාධ්‍යයෙන් යම් ස්ථාන එක දෙකක අඩුපාඩුකම්වලට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ දියත් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් සහ දිරිගැන්වීම් ලබාදෙමින් මුදල් ප්‍රතිපාදන වෙන් කර දෙන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටත් ඇමැතිවරයා සිය ප්‍රණාමය පුද කළේය.

ඇමැතිවරයා මේ අදහස් දැක්වූයේ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පූජා භූමියක් වන අම්පාර රජගල පුරාණ විහාරයේ චෛත්‍යයේ ධාතු නිදන් කිරීමේ ඓතිහාසික අවස්ථාවට සහභාගි වෙමිනි.

මේ අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර දයා ගමගේ, අනෝමා ගමගේ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්, අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, අමාත්‍යාංශ අතිරේක ලේකම්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon